ස්වයං පෝෂිත රාජ්‍ය

963

ඊයේ පුවත්පත්වල පළවූ ප‍්‍රවෘත්ති දෙකක් ගැන අපගේ අවධානය යොමුකරනු ලැබේ. ඉන් පළමුවැන්න වන්නේ කොටි සංවිධානය විසින් යුද සමයේදී පුදුකුඩිඉරිප්පුවේදී වළ දමන ලද රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සාහ කළ ඇමැති සම්බන්ධීකරණ නිලධාරියකු සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට යන බවය. මස් කඩයකට හොර හරක් ප‍්‍රවාහනය කරමින් සිටි රාජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු ලූණුගම්වෙහෙරදී අත්අඩංගුවට ගැනීම දෙවැනි පුවත වේ. පෙරකී හරක් හොරා මස් කඩය වෙත ගෙනයමින් සිටි හරකුන් ගණන විසි දෙකකි. මෙහි ඇති ඉතාම විසුළු සහගත සිද්ධිය වන්නේ ඔහු ශ‍්‍රී ලංකා අහිංසාවාදී මහා සංගමයේ සාමාජික සංවිධානයක සභාපතිද වීමය. මේ පල් හොරා හොර හරක් අදින්නේ එම සතුන්ට අභයදානය දීම සඳහා ප‍්‍රවාහනය කරන බව හඟවමිනි. මූට හෙණ ගැසිය යුතු බව අප යෝජනා නොකරන නමුදු එවැනි යෝජනාවක් වෙනත් පාර්ශ්වයක් විසින් කරන්නේ නම් අපට විරුද්ධ වීමට නොහැක. මහ කන්නය වෙනුවෙන් සක‍්‍රීය වූ මෝසම් වර්ෂාව සහ ඊට සම්බන්ධ අකුණු ගැසීම් ක‍්‍රමයෙන් අඩුවී ගොස් තිබේ.

ස්වභාව ධර්මයද මෙවැනි අවස්ථාවලදී නිහඬවීම ඉතා නරකය. ශ‍්‍රී ලංකා අහිංසාවාදී මහා සංගමය විසින් හරක් හොරාට නිකුත්කළ සහතිකයක ඡුායාරූපයක් අන්තර්ජාලයේ තිබේ. එයට භික්ෂුන් වහන්සේ දෙනමක් ද ගිහි පින්වතුන් තිදෙනෙක් ද අත්සන් තබා ඇත. මේ රටේ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන්ට සම්බන්ධීකරණ ලේකම්වරුන් සිය ගණනක් සිටිති. සම්බන්ධීකරණ ලේකම් පත්කිරීම ඉතා ලේසි වැඩකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ රාජ්‍ය ඇමැතිගේ ලෙටර් හෙඞ් එකක් පමණි. අසවල් හොරාට රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් පදවියක් ප‍්‍රදානය කරන බව එම ලිපියේ සඳහන් වන අතර රාජ්‍ය ඇමැති හෝ ඔහුගේ ලේකම් එයට අත්සන් කරනු ලැබේ. මෙවැනි අවස්ථාවලදී බොහෝවිට සිදුකෙරෙන්නේ අනවශ්‍ය ලෙඩ තම ඇෙඟ් තැවරෙනවාට අකැමැති රාජ්‍ය ඇමැතියා ලේකම් ලවා ලිපිය අත්සන් කිරීමය. මේ ලිපිය පෙන්වා කරගත හැකි බොහෝ දේවල් තිබේ.

හොර හරක්, ගංජා, දැව, අනවසර වැලි ප‍්‍රවාහනය කරන විට මේ ලිපියෙන් ප‍්‍රයෝජන රැසක් ගත හැකිය. මහා පාරේ සිටගෙන සිටින දුප්පත් අහිංසක පොලිස්කාරයෙක් හොර හරක් ලොරිය නැවැත්වූ විට ඔහුට එම ලිපිය පෙන්වනු ලැබේ. එවිට එම දුප්පතා සිතන්නේ රාජ්‍ය ඇමැති ලේකම් යනු ජනාධිපති ලේකම් හෝ අග‍්‍රාමාත්‍ය ලේකම්ට සමාන්තර පුද්ගලයකු ලෙසය. පෙරකී හරක් හොරා ශ‍්‍රී ලංකා අහිංසාවාදී මහා සංගමයෙන් තනතුරු සහතිකයක් ලබා ගත්තේ කෙසේදැයි අපට නොතේරේ. සමහරවිට එම සංගමයේ විධායක සභිකයන් අතර අං සහ කුර තිබෙන අය සිටිනවා විය යුතුය. හරක් හොරා ගවයින් ලබාගෙන ඇත්තේ ලූණුගම්වෙහෙර පළාතේ ගව පට්ටි වලිනි. ඔහු කියා ඇත්තේ එම සතුන් නිදහස් කිරීමට ගෙනයන බවය. එම හරක් රැුල ගෙන ගොස් ඇත්තේ බණ්ඩාරවෙල මස් කඩයකටය. ගවයකු ඝාතනය කරන්නේ ඉතා භයානක වධ දීමෙනි. මුලින්ම ඝාතනාගාරය තුළට ගෙනයන සතාගේ කකුල් කඩනු ලැබේ. ඉන්පසු උගේ හිසට මිටියකින් පහර දී ගෙල කපයි. කරත්තයකට යටකර වසු පැටවකු මැරූ සිය පුත‍්‍රයාද කරත්තයකටම යටකර මැරීමට එළාර රජතුමා තීන්දු කළේය. ඇමැති සම්බන්ධීකරණ ලේකම් හරක් හොරාටද ගව ඝාතනාගාරයකදී සත්කාර කළ යුතුය.

කොටින් විසින් වළ දමන ලද රන් හෑරීමට ගිය පුද්ගලයාද අමාත්‍යාංශ සම්බන්ධීකරණ නිලධාරියෙකි. එම අමාත්‍යාංශය භාර රියර් අද්මිරාල් සරත් වීරසේකරය. තමා වටා සිටින පල් හොරුන්ට සම්බන්ධීකරණ නිලධාරී තනතුරු දීමෙන් නීතිය සහ සාමය පිළිබඳ ඇමැති සරත් වීරසේකර වැළකිය යුතුය. නීතිය සහ සාමය පොලිසියට භාරය. එබැවින් නීතිය සහ සාමය භාර ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරීන් ඉදිරිපිට ඇඹරෙන්නට පොලිසියට සිදුවෙයි. මෙය දේශපාලනයේ ඉතාම පරිහානිගත අවස්ථාවකි. ඡුන්දයේදී තමන් වෙනුවෙන් වැඩකරන සහ සල්ලි වියදම් කරන පුද්ගලයන්ට තනතුරු සහ වරප‍්‍රසාද දී තවදුරටත් ඒවා දීගත නොහැකි තැනට පත්වන විට සම්බන්ධීකරණ ලේකම් තනතුරු දීම ඇරඹේ. ඇමැතිතුමාගේ ලෙටර් හෙඞ් අවසන් වනතාක් කල් සම්බන්ධීකරණ ලේකම්ලා පත්කළ හැකිය. ලෙටර් හෙඞ් අවසන් වූ විට මුද්‍රණාලයකින් තවත් ලෙටර් හෙඞ් තොගයක් මුද්‍රණය කරගෙන සම්බන්ධීකරණ ලේකම්ලා තව තවත් පත්කළ හැකිය. මෙවැනි ලේකම්ලාට කිසිදු රාජකාරියක් කිරීමට උගත්කමක් හෝ නිල බලයක් නැති බැවින් ඔවුහු රට පුරා හරක් හොරකමේ යති. නිධන් හාරති. ගංජා අදිති. කළ හැකි හැම කුපාඩි වැඩක්ම කරති. අවසන් ඵලයේදී අපි සම්බන්ධීකරණ ලේකම්වරුන්ගෙන් ස්වයංපෝෂණය වූ රාජ්‍යයක් බවට පත්ව සිටිමු. ජය වේවා !

advertistmentadvertistment
advertistmentadvertistment