ශ්‍රී ලංකන් ප්‍රමාදය නිසා බැණුම් අහන්න බැහැ!

515

ගුවන් ගමන් 4 ක් ප්‍රමාද වී නොසන්සුන්තාවක්
විසඳුමක්  ඉල්ලා ඊයේ කටුනායක  වැඩ පැය 2ක්  නවතී

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාදවීම නිසා ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, සේවකයන්ට නිතර නිතර බැණ වදින අතර එම ගැටලුවට මැදිහත් වී විසඳුමක් ලබාදෙන ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා එහි සේවකයෝ ඊයේ (25 දා) පෙරවරුවේ සේවයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූහ. මේ හේතුවෙන් ඉන්දියාව, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවලට යෑමට තිබූ ගුවන් ගමන් හතරක් ප්‍රමාදවීම නිසා උණුසුම් තත්ත්වයක් උද්ගත වූ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවැසීය.

රාජකාරි කළ සේවකයන් හදිසි වැඩවර්ජනයක් නොකොට අලුයම 4.30 ට පමණ සේවයෙන් ඉවත්වී සිට පෙරවරු 6.30 ට පමණ සිය සේවාවන් සුපුරුදු පරිදි යළි සිදුකිරීම ආරම්භ කළ බවත් ඒ වනවිට ඉන්දියාවේ චෙන්නායි, හයිද්‍රබාද්, බංගලාදේශයේ ඩකා සහ මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන්යානා ප්‍රමාද වූ බවත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවැසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල සේවක හිඟයක් පවතින බවත්, මේ වනවිට අත්දැකීම් සහිත සේවකයන් විශාල පිරිසක් රට හැරගොස් විදෙස් ගුවන් සමාගම් සමඟ එක්වී ඇති බවත්, එම හිඟයන් පියවීමට මෙතෙක් පියවරක් ගෙන නැති බවත් ඔහු කීය. කෙසේ වෙතත් අද (26 දා) ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය සේවක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට එකඟතාව පළකර තිබෙන බව ද ඔහු කීය.

ගුවන්තොටුපළ මෙහෙයුම් පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් ක්‍රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check in Counter) සිදුවූ ප්‍රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදුවූවක් මිස, කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් නොවන බව දන්වා සිටී. මේ වනවිට ඇතුළුවීමේ කවුන්ටර මෙහෙයුම් (Check in Counter Operations) සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර මෙම මෙහෙයුම් ප්‍රමාදයන් නිසා අපහසුතාවට පත්වූ සිය ගුවන් මගීන්ගෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමාව අයැද සිටින බව ද දැනුම්දී තිබුණි.

එමෙන්ම, මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගනිමින් සිටින බව ද ඔවුන් දන්වා ඇත.

උද්ගතව ඇති අර්බුදය හමුවේ, ගුවන්යානා ප්‍රමාදවීම නිසා උරණ වූ විදේශික සංචාරක මගීන් ගුවන් තොටුපළේ නිලධාරීන්ට බැණ වදිමින් මෙහෙම අපට කරන්න එපා, කවුද මේවට උත්තර දෙන්නේ හා තවත් කේන්ති වචන වලින් ද සංග්‍රහ කරනු දක්නට විය.

චමින්ද සිල්වා, ටී. කේ. ජී. කපිල – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment