එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට

107

දේශය වෙනුවෙන් එක් වන පියවරක්’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් 24 වැනිදා පෙරවරුවේ සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව එම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසර තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවත්, ප්‍රතිසංස්කරණමය තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන අතර සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවත් පැවසීය.

රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කළ විවෘත ආරාධනය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බව කීය.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. මැතිවරණ පැවැත්වීම පිළිබඳව මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු එක්ව සිටියහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment