මමත් දැන් තාත්තා කෙනෙක් – සජිත් මහනුවර දී කියයි

848

මිල වැඩි නිසා රජයේ රෝහල්වලින් දරුවන්ට සමහර එන්නත් දෙන්නේ නෑ

“මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා. පියකු වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකු මහත්වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා රටට, දේශයට ගුණවත් ශිෂ්ට සම්පන්න උගත් බුද්ධිමත් පුරවැසියෙක් බවට පත්වීම. ඒක මගේ ප්‍රාර්ථනාව… මේ හැම අම්ම කෙනකුගේම තාත්තා කෙනකුගේම තමන්ගේ දූ දරුවන් ගැන ප්‍රාර්ථනාවත් එයයි.” යැයි විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සමගි ජන බලවේගයේ මහනුවර පැවැති සමගි වනිතා සමුළුව පෙරේදා (24 දා) අමතමින් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

තවදුරටත් කතාකළ විපක්‍ෂ නායකවරයා මෙසේද පැවැසීය.

“මං දන්නවා මගේ කතාව අසාගෙන සිටින මේ හැම අම්ම කෙනකුගේම තාත්තා කෙනකුගේම තමන්ගේ දූ දරුවන් ගැන ප්‍රාර්ථනාවත් එයයි. මම පහුගිය දවසක මගේ දියණිය රැගෙන බිරිඳත් සමඟ රෝහලට ගියා. ඒ අදාළ එන්නත් ලබාදෙන්න. ඒ එන්නත ලබාදෙන කොට මගේ ගතියක් තමයි මම හැමදේම අහනවා. හැමදේම හොයල බලනවා. මෙන කාලෙටද මේ එන්නත දෙන්නේ. මොනවටද මේ එන්නත දෙන්නේ. මොන රැකවරණයද මේ එන්නතින් ලැබෙන්නේ. මගේ දියණිය රැකබලාගන්න ළමා රෝග විශේෂඥ වෛදවරයා සින්ෆොරික්ස් කියන වැක්සින් එක ගහන්න කිව්වා. මං කිව්වා කමක් නැහැ ඒක ගහමු කියලා. හැබැයි ඒක අපේ රටේ දරුවන්ට ගහන්නේ නැහැලු, රජයේ සෞඛ්‍ය පද්ධතියේ. මං ඇහුවා මේ වැක්සින් එක කොච්චර මිලක් ද කියලා. රුපියල් 7800 ක් වෙනවලු. හැබැයි රජයේ රෝහල්වලට යන අම්මලා තාත්තලාගේ දූ දරුවන්ට ඒ සින්ෆොරික්ස් කියන වැක්සින් එක ගහන්නෙ නැහැ. හැබැයි අත්‍යවශ්‍යම වැක්සින් එකක්. බැක්ටීරියාවක් තියෙනවා නිව්මෝනියාව හැදෙන “ස්ට්‍රැක්ටොවොකස් නිව්මෝනියාව”. ඩොක්ටර් දැන් මගේ දුවට මේ වැක්සින් එක ගහන්න කියනවා. එතකොට අනෙක් අම්මලා තාත්තලාගේ දුවා දරුවන්ට මේක ගහන්නෙ නැද්ද කියලා මං ඇහුවා. එතකොට ඩොක්ටර් කියනවා ඒ වැක්සින් එක ගහන්නෙ නැහැ ගාණ වැඩි නිසා කියලා. ඔන්න අද අපේ රටේ තත්ත්වය.

සමහරු දේශපාලන ඉත්තන් කර ගත්තට – අපි කාන්තාව රටේ සංවර්ධන⁣යේ
ගාමක බලවේගය බවට පත් කරනවා

මමත් දැන් තාත්තා කෙනෙක් - සජිත් මහනුවර දී කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහනුවර සමගි වනිතා සමුළුවේදී කියයි

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගත්තට අපි කාන්තාව රටේ සංවර්ධන⁣යේ ගාමක බලවේගය බවට පත් කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේබව කියා සිටියේ ඉකුත් 24දා මහනුවර පැවැති සමගි වනිතා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

අතීතයේ කාන්තාවන්ට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකි වුවත් අද එවැනි තත්ත්වයක් රට තුළ නැහැ. කුඩා දරු දැරියන්ට එරෙහි අපරාධ අතින් ලංකාව දෙවැනි තැනට ඇවිත් තිබෙනවා. 2023 පමණක් එවැනි අපරාධ 9400ක් වාර්තා වී ඇත. ඉන් 1502ක් ලිංගික අපචාරයන්ය. අප රටේ කාන්තාවන්ගෙන් අඩකඩ වැඩි ප්‍රමාණයක් ගෘහස්ත හිංසනයට ලක්ව සිටිනවා. කාන්තාවන්ට ඇත්තේ සෝචනීය ඛේදනීය තැනක් නිසා මෙය වෙනස් කළ යුතුයි. නිසි ආරක්ෂාව, සුදුසු පරිසරය සහ රැකවරණය නොමැති නිසා ශ්‍රම බලකායෙන් අප රටේ කාන්තාවන් සිටින්නේ 34%කි. කාන්තාවන්ට නිවසේදී ප්‍රවාහනයයේදී වැඩබිමේදී අතිමහත් බහුතරයක් පීඩනයකට හිංසනයට අසහනයට ලක්වනවා. ආර්ථික අර්බුදයෙන් පවා පීඩනයට ලක්ව ඇත්තේ කාන්තාවන්ය. ගෙදර බුදුන් අම්මා ලෙස හැඳින්වුවත් ළමා මන්දපෝෂණය මාතෘ මන්දපෝෂණය බරපතල ගැටලු‍වක් වී ඇත. කාන්තා දින සැමරුම් පැවැත්වුවත් ඉන් කිසිදු දෙයක් මේ වන විටත් සිදු වී නැත.

2019 ජනාධිපතිවරණයේදී කවුරුත් කාන්තාවන් ගැන කතා නොකළත් මා කාන්තාවන් වෙනුවෙන් පමණක් ප්‍රඥප්තියක් සකස් කළා. අද කාන්තාව දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ

ගාමක බලවේගයක් ලෙස හැඳින්වූවාට පසු කාන්තාව දේශපාලන ආයුධයක් කර ගෙන ඇත. මේ රටේ 52%ක් කාන්තාවන් අපේක්ෂා කරන්නේ දේශපාලනඥයන්ගෙන් පාඩම් දේශන නොව ගැටලු‍වලට පිළිතුරුයි. එමනිසා චාටු කතාවලට රැවටෙන්න එපා.

මෙවරත් සමගි ජන බලවේගය කාන්තා ගිවිසුමක් සකස් කරනවා. එය දේශපාලනඥයන්ගේ මතවාදවලින් නොව බිම් මට්ටමේ ජනතාවගේ අදහස්වලින් සුපෝෂිත සකස් කරනවා. ගෙදර සිටින මව දූදරුවන්ට ඉතිරි කිරීම ගැන සිතනවා. ඇය සිගරට් එක වයින් ස්ටෝර්ස් එක ගැන සිතන්නේ නැහැ. එනිසා ඇයව සවිබල ගැන්විය සිදුවිය යුතුයි. සමගි ජන බලවේග රජයක් තුළ සියලු‍ු ආධාර ලබාදෙන්නේ කාන්තාවන්ටය. ඒ තුළින් ඇය සවිබල ගැන්විය හැකියි. එසේම කාන්තාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරනවා. ඒසඳහා දිවයින පුරා සිටින කාන්තාවන් සම්බන්ධ කර ගෙන කාන්තා කොමිසමක් ඇති කර ඇයට දිරිය ශක්තිය අනුග්‍රහය ලබාදෙනවා. සෑම ග්‍රාමසේවා වසමකටම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියක් පත් කර ළමා හා මාතෘ මන්දපෝෂණය දුරලන්න ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ඇති කරනවා. කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරනවා. ඇතැම් කාන්තාවන් නිසි ලෙස සෞඛ්‍ය මෙවලම් භාවිත නොකරන නිසා විවිධ සෞඛ්‍ය ගැටලු‍ ඇති වෙනවා. ඒ ගැන අවධානය යොමු කරනවා. මට පෑඩ් මෑන් යනුවෙන් අන්වර්ත නාම පටබැදුනත් කමක් නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලට යටවී සිටින කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වී ඉන් මුදවාගෙන වීරෝධාර කාන්තාව ආර්ථික වර්ධනයට ශක්තිය ලබාදෙන ව්‍යවසායකයින් බවට පත් කරනවා. අසහනයන්

රැසකට මැදිව ඇති කාන්තා මූලික ගෘහ ඒකක ඉලක්ක කර විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සමගි ජන බල වේගය කාන්තාවන් දේශපාලන ඉත්තන් කර ගන්නේ නැහැ. බංකොලොත් රටේ රජයටවත් කරන්න බැරි දේවල් රැසක් සමගි ජන බලවේගය ලබාදෙනවා. සක්වල හා හුස්ම වැඩසටහන් එයට උදාහරණයකි.

මෙම සමුළුවට ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, රෝහිණී කවිරත්න යන මන්ත්‍රීවරුද ජලනි ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අධිනීතිඥ චාමින්දිනී කිරිඇල්ල ඇතුළු පිරිසක්ද සමග විශාල කාන්තා සහභාගීත්වයක් එක්ව සිටියහ.

සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර


advertistmentadvertistment
advertistmentadvertistment