සිරගෙදර හෙවත් මෙලෝ අපාය

886

හිරගෙදර යනු අවුරුදු හාරදාහක් තරම් පැරණි සංකල්පයකි. ලෝකයේ මුල්ම හිරගෙවල් මිසපොතේමියානු ඊජිප්තු ශිෂ්ටාචාර තුළ සාදන ලදී. නූතන හිරගෙවල් පොළොවෙන් උඩ තිබුණ ද පෙර කී පරිදි මෙම හිරගෙවල් පිහිටා තිබුණේ පොළොව යට ය. පොළොව යට ගුහාවල් හාරා ඒවාට අපරාධකරුවන් හෝ සැකකරුවන් දමා පැක්කිරීම එකල සිරිත ය. ධාරානිපාත වැස්සකදී එම බිංගෙවල් ජලයෙන් පිරී ගිය අතර සිරකරුවෝ සියලු දෙනා මියගියහ. භූමිකම්පාවක් පැමිණි විට මේ ගුහා සියල්ල කඩාවැටුණු අතර සිරකරුවෝ සුන්බුන්වලට යටවී මියගියහ. මේ කියන කාලයේදී හිරයට යන එකාට නිදහස් වීමක් නොතිබූ අතර වෙනත් දඬුවම් දෙකක් නියම විය. ඉන් පළමුවැන්න මරණයයි. දෙවැන්න වහල්කමට විකිණීමයි. ඒ නිසා මෙකල සිරකරුවන් නිදහස ලෙස හඳුනාගෙන සිටියේ වහල්කමට විකිණී යෑම ය. සිරගෙවල් පොළොවෙන් උඩට එන්නේ ග්‍රීක ශිෂ්ටාචාරය හිස එසවීමට පටන්ගත් කල්හිය. සිරකරුවන් පිළිබඳ ලේඛන තබාගැනීම, පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා නෛතික වගන්තියක් පාවිච්චියක් පටන්ගන්නේ ග්‍රීක යුගයේදී ය. කෙසේ වුවද පොළොවෙන් උඩ තිබූ හිරගෙවල් ද අපායවල් හා සමාන විය. ඒවා තුළ වැසිකිළි පහසුකම් නොතිබිණි. සිරකරුවා එළි බැස්සේ බැද්දට ය. අජීර්ණයක් හැදුනු සිරකරුවකු නිතර නිතර බැද්දට යන්නේ නම් ඒ කරදරයෙන් බේරීම පිණිස බන්ධනාගාර මූලාදෑනීන් විසින් ඔහු මරණ ලදී. සමහර විට කොලරාව වැනි අජීරණ තත්ත්වයන් සිරගෙදරකට බෝවූ විට ඒ සඳහා යොදාගත් විසඳුම වූයේ ලෙඩ වූ සිරකරුවන් මරා දැමීම ය. නූතන ලංකාවේ සිරගෙවල් සහ එදා සිරගෙවල් අතර වැඩි වෙනසක් නැත. වෙනසක් තිබෙනවා නම් ඒ වූකලී රෝගී සිරකරුවන් නොමැරීම ය. ඊට අමතරව මේ රටේ සියලුම සිරගෙවල් අද වනවිට මිහිපිට අපායවල් බවට පත්වී තිබේ. මේ රටේ සිරගෙවල්වල සිටින රැඳවියන් ප්‍රමාණය සියයට තුන්සීය ද ඉක්මවා ඇති බව දැනගැනීමට තිබේ. එසේම වාර්ෂිකව සිරගත වන පිරිස ද සියයට තුන්සීය දක්වා වැඩිවී තිබේ. වැලිකඩ සිරගෙදර තාප්පයේ උලා ඇති ලස්සන පාට හෝ සිරගෙදර ගෙවත්තේ වවා ඇති මල් පාත්තිවල සුන්දරත්වය එහි ඇතුළත නැත. මේ රටේ බන්ධනාගාර තදබදය නිසා විශාල අර්බුදයකට මැදිව ඇති බව කියැවෙන පුවතක් ඊයේ ‘දිවයිනේ’ පළවී තිබේ. මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ද නැතිනම් ජේලර්ලා ද? කිසිසේත්ම නැත. මෙයට වගකිවයුත්තේ තනිකරම ආණ්ඩුව ය. මෙතැන් සිට අපේ කතාවේ ඉතිරි ටික පටන් ගනිමු.

සිංහල රජකාලේ මේ රටේ පැවැති බන්ධනාගාර නිකම්ම නිකම් බන්ධනාගාර නොව වධ බන්ධනාගාර ලෙස හැඳින්විය යුතුවේ. මේවායේ සිටින සිරකරුවන්ට දස වධ දී මරණ ලදී. විටෙක එම සිරකරුවන් උල තැබීම සිදුවිය. තවත් විටෙක ඔවුන්ගේ අංගඡේදනය කරන ලදී. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවසන් රාජ්‍ය පාලන සමයේ සිරකරුවන් මරාදැමීම සඳහා දෙතිස් වධ පාවිච්චි කරන ලදී. ශ්‍රී ලංකාවේ පළමු වන බි්‍රතාන්‍යය ආණ්ඩුකාරයා වූ අති දුෂ්ට රොබට් බ්‍රවුන්රිග් සමයේදී දෙතිස් වධ ක්‍රියාත්මක විය. එහෙත් පසුව මේ රටේ ආණ්ඩුකාර ධුරය භාරගත් ෆෙඩි්‍රරික් නෝත් වධ තිස්දෙකේ කතන්දරය නවත්වා සිරකරුවන් මැරීම සඳහා එල්ලුම් ගස යොදා ගත්තේය. ලංකාවේ සිරකරුවන් පිළිබඳව ම්ලේච්ඡත්වය එතැනින් අවසන් විය. 1871 දී වැලිකඩ සිරගෙදර, 1875 මහර සිරගෙදර ද 1876 දී බෝගම්බර සිරගෙදර ද පිහිටුවන ලදි. ලංකාව පුරා සිරගෙවල් සෑහෙන ප්‍රමාණයක් ඇත. ඒවායින් 75%ක් ම ඉදිකරන ලද්දේ බි්‍රතාන්‍ය ආණ්ඩුව විසිනි. එයට හේතුව ලංකාව හා ඉන්දියාව වැනි රටවල් දියුණු වනවිට අපරාධ සංඛ්‍යාව වැඩිවන බැවින් සිරකරුවන් සංඛ්‍යාව ද ඉහළ යන බව බි්‍රතාන්‍ය පාලකයා දැනසිටීම ය. 1948 පසු අලුත් සිරගෙවල් සෑදීම මන්දගාමී වූ අතර ක්‍රමයෙන් සිරගෙවල් සහ වැසිකිළි වළවල් අතර වෙනසක් ඇතිවන්නට පටන් ගත්තේය. මේ වනවිට වැලිකඩ සිරගෙදර සිරකරුවන් ගණන තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. මේ නිසා එක සිරකරුවකුට හිමි භූමි ප්‍රමාණය තුළ සිරකරුවෝ තිදෙනකු ජීවත් වෙති. අප මෙවැනිම කතු වැකියන් ඔස්සේ පසුගිය දවසක හෙළිකරන ලද පරිදි තව ටික දවසකින් වැලිකඩ සිරගෙදර සිරකරුවන්ට වැතිරී නිදාගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. ඔවුන්ට සිදුවන්නේ හිටගෙන නිදාගැනීමට ය. වැලිකඩ තදබදය එපමණටම දරුණුය. එක් සිරකරුවකුට සෙම්ප්‍රතිෂ්‍යාව සෑදුන විට එම වාට්ටුවේ සිටින සියලු සිරකරුවන්ට එම රෝගය වැළඳේ. ඉන් පසු සියලු දෙනාටම පාහේ උණ ගනී. උණෙන් පසු සිරකරුවාගේ ඉරණම වෙනස් වෙයි. සමහරුන්ට සෙංගමාලය වැළඳේ. තවත් සමහරුන්ට ගලපටලය වැළඳේ. සෙම නරක් වූ විට නියුමෝනියාව හටගනී. ඒ සියලු දෙනාම බන්ධනාගාර රෝහලට පැටවීමට තරම් ඉඩක් නැත. ඒ නිසා ඉතා ස්වල්ප කලකින් මුළු සිරගෙදරම බන්ධනාගාර රෝහලක් බවට පත්වේ. වැලිකඩ සිරගෙදර වැසිකිළිවලට දොරවල් නැත. රැඳවියා මළ බැහැර කරන්නේ ප්‍රසිද්ධියේය. මෙය ඉතා දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයකි. වැලිකඩ සිරගෙදර පිහිටා ඇත්තේ බොරැල්ලේ පිහිටි ඉතා වටිනා භූමියක ය. මේ සිරගෙදර එතැනින් ඉවත් කර දුර පළාතකට ගෙන ගොස් වඩාත් ඉඩකඩ ඇති පිරිසිදු සිරගෙයක් හැටියට අලුතින් ඉදිකිරීම රජයේ වගකීම වේ. සිරගෙදර පැවැති බොරැල්ලේ ඉඩම නිවාස සංකීර්ණයක් හෝ කර්මාන්ත ශාලා කටයුත්තක් සඳහා විදේශිකයන්ට බද්දට දීම කළ හැකිය. එහෙත් ලංකාවේ කම්කරු නීතිවල ඇති උසස්භාවය නිසා ලංකාවේ නම ඇසුණුවිට පවා විදේශිකයෝ වෙනත් රටවලට පැන දුවති. ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ආයෝජන රැසක් අද නේපාලයට සහ බංගලාදේශයට ගොස් ඇත. කම්කරු ව්‍යාපාරයේ නොදැමුණුකම මෙන්ම නිලධාරීන්ගේ ජරාව කෑම ද මීට හේතුවී තිබේ. ආයෝජකයෙක් අතට අසු වූ විට නිලධාරීහු සම්පූර්ණයෙන්ම ඒකා සුද්ද කරති. අන්තිමට ගුවන් යානයේ නැගී පිටරටින් මෙහි එන විදේශික ආයෝජකයාට සිදුවන්නේ අතේ සතේ නැතිව ලන්කට් එක පිටින් මහ මුහුදට පැන පිහිනා මවුබිමට යෑමට ය.

සිරගෙදර කතාව අදට මෙතැනින් නිමියේය. සිරගෙවල්වල තදබදය තව ටික දවසකින් සියයට හාරසියය දක්වා ඉහළ යනු ඇත. එවිට අපි නැවතත් මේ කාරණය මතක් කර දෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment