හදවතින් සහ මනසින් පිරිපුන් බාලදක්ෂයන්

92

කොළඹ විහාරමහාදේවි උද්‍යානය කඳවුරු භූමියක් බවට පරිවර්තනය කරමින්, කොළඹ දිසාවේ බාලදක්ෂ දරු දැරියන් දහස් ගණනක් එහි කඳවුරු බඳිමින්, 58 වන “කොළඹ කැම්පෝරිය – 2023”

පසුගිය දෙසැම්බරයේදී සාර්ථකව පැවැත්වුණා. දිගුකාලීන සැලැස්මක මේ සාර්ථක ප්‍රතිපලයෙහි පෙරගමන්කරු කොළඹ බාලදක්ෂ දිසාවේ, දිසා කොමසාරිස් අමිල් අබේසුන්දර මහතායි. වරලත් ඉංජිනේරුවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන ඔහු ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජිකයෙක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර බාලදක්ෂ සම්මේලන සහ කඳවුරු රාශිකයට සහභාගි වී ඉහළ මට්ටමේ ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සහිත බාලදක්ෂ නායකයෙක්.

හදවතින් සහ මනසින් පිරිපුන් බාලදක්ෂයන්
අමිල් අබේසුන්දර

ඔබ සහ ඔබේ කණ්ඩායමේ සැලසුම සහ උත්සාහය පරිදි පසුගිය දෙසැම්බරයේදී “කොළඹ කැම්පෝරිය – 2023” – සාර්ථකව පැවැත්වුණා?

ඇත්තෙන්ම ඒක හරි. අපි මේ කඳවුර මෙවර පැවැත්වුවේ 58 වන වතාවට. කොළඹ දිස්ත්‍රික්කයේ අපේ බාල දක්ෂයන්ගේ කැලැන්ඩරයේ තියෙන විශේෂම අංගයක් තමයි මේ. අපි මේක අවුරුද්දක් පාසා දිගටම කරගෙන ආවා. කොරෝනා කාලේදී පවා මේ කැම්පෝරිය අපි virtual ආකාරයෙන් කරගෙන ආවා. බාලදක්ෂයන්, එළිමහන් කඳවුරු බැඳීමට තියෙන විශාල උනන්දුව නිසා තමයි අපි මේ කැම්පෝරිය පවත්වාගෙන යන්නේ. ඉතින් මේ කඳවුර පැවැත්වීමෙන් අපි විශාල අරමුණු ප්‍රමාණයක් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද බාලදක්ෂ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමා කියලා තියෙනවා සතියක කෑම්ප් එකක් පන්තියක මාස හයක කාලයක් ඉගෙනගන්නවා හා සමානයි කියලා. කඳවුරු ජීවිතය කොහොමද, එහි ප්‍රායෝගික අත්දැකීම ලබාදීම, තමයි අපේ මේ ප්‍රායෝගික වැඩසටහන්වල උත්සාහය සහ අරමුණ වුණේ.

මේ උද්‍යාන භූමිය බාලදක්ෂයන් කඳවුරු භූමියක් බවට පරිවර්තනය කරගත්තේ කොහොමද?

අපි දිගටම මේ කඳවුර විහාරමහා දේවි උද්‍යානයේ පවත්වාගෙන ආවා. ඉතින් අපේ බාලදක්ෂයන් දැන් හොඳින්ම දන්නවා මේ උද්‍යානය කොහොමද කඳවුරු භූමියකට පරිවර්තනය කරගන්නේ කියලා. ජලසම්පාදන මණ්ඩලයෙන් අපට බීමට ජලය දෙනවා. අපි පාක් එකේ තියෙන වැසිකිළි පහසුකම් ලබාගත්තා. ඊට අමතරව 40 ට අධික වැසිකිළි ප්‍රමාණයක් අපි මේ කෑම්ප් එක සඳහාම නිර්මාණය කළා. වෙනම භාජන හෝදන ප්‍රදේශ, වෙනම ජල ටැංකි, නාන ප්‍රදේශ ඒ වගේ හැම දෙයක්ම අපි කඳවුරු භූමිය තුළ නිසි ලෙස කළමනාකරණය කළා.

මෙවර ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට තිබූ අවස්ථා පිළිබඳවත් සඳහන් කරමු.

මෙවර අපේ කැම්පරියේ ක්‍රියාකාරකම් ගැන ඇත්තටම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මොකද adventure activities, physical activities, scout craft ආදී විශේෂ දේවල් රාශියක් අපි මෙවර කඳවුරේ ක්‍රියාකාරකම් සඳහා ඇතුළත් කර තිබුණා. ඊට අමතරව ඉලෙක්ටි්‍රක් අංශයයේ ක්‍රියාකාරකම් වලටත් මෙවර විශේෂ තැනක් ලබා දුන්නා. ප්ලග් එකක් කොහොමද හයිකරන්නේ, වෙල්ඩින් කරන්නේ කොහොමද, වාහනයක ටයර් ගලවල නැවත ඒක දාන්නේ කොහොමද, බයිසිකල් එකක චේන් එක මාරු කරන්නේ කොහොමද, බයිසිකලයක ටයර් ගලවන්නේ කොහොමද, ටියුබ් එකකට පැච් එකක් දාන්නේ කොහොමද වගේ බොහෝ දේවල් ඒ අතර වුණා. ඒ වගේම බාලදක්ෂයන්ගේ කුසලතා වර්ධනය කිරීමට, දැනුම වර්ධනය කරගැනීමට අවශ්‍ය අංග රැසක්මත් අපි සංවිධාන කරලා තිබුණා. සරලවම කියනවා නම් 40 ට වැඩි එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම්, දවස් තුනක් පූර්ණකාලීනව අපි සැලසුම් කරලා දරුවන්ට සහභාගි වී දැනුම කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාව ලබා දුන්නා. අපි හිතනවා මේ ක්‍රියාකාරකම් තුළින් බාලදක්ෂයින් විශාල දැනුමක් කුසලතාවක් ලබාගත්තා කියලා.

ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමේ අරමුණ වුණේ?

අපේ ප්‍රධාන අරමුණ වුණේ බාලදක්ෂයන් සමාජයට වැඩදායි පුද්ගලයන් බවට පත්කිරීම. අපි පුළුවන් තරම් උත්සාහ කළේ සාමාන්‍ය ශිෂ්‍යයෙක්, බාලදක්ෂ කටයුතුවලට ආවට පස්සේ ඔහුට හෝ ඇයට තිබෙන දැනුම පුළුවන් තරම් තීව්‍ර කරලා, දැනුම වැඩි කරලා සමාජයට වැඩදායි පුද්ගලයෙක් බිහිකිරීම. අපි හිතනවා මේ හැම දෙයින්ම ඒකට විශාල රුකුලක් ලැබුනා කියලා.

මෙවර කාලගුණ තත්ත්වයත් එක්ක බාලදක්ෂයන් තමන්ගේ කටයුතු කළමනාකරණය කරගත්තේ මොන ආකාරයටද?

කොහොමත් බාලදක්ෂයෙක් වුණහම සෑම කාලගුණයකදීම කඳවුරු කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ නිසා අපි ඒ ගැන විශේෂ උපදෙස් ලබාදීලා තිබුණා. වැහි කබා සූදානම් කරගැනීම, tent water proof කරගන්නා ආකාරය ඒ හැමදෙයක්ම අපි බාලදක්ෂයන්ට කියා දීලයි මේ කඳවුර පැවැත්වූවේ. කොහොමත් කඳවුරක් තියෙනකොට පොඩි හරි වැස්සක් ඇතිවෙනවාම තමයි. ඉතින් කොළඹ දිසාවේ බාලදක්ෂයන් ඒ හැම දේටම සූදානම් වෙලා තමයි කඳවුරු බැන්දේ. ඒ වගේම සංවිධායක මණ්ඩලය විදිහට එවැනි අවස්ථා වලදී ගන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳ සූදානමින් සහ කල්පනාවෙන් කටයුතු කරලා දරුවන්ව අවශ්‍ය විට අවශ්‍ය තීරණ අරන් කඳවුර පවත්වාගෙන යන්න අපි මගපෙන්වමින් කටයුතු කළා.

ඔබේ මීළඟ සූදානම?

ඇත්තෙන්ම අපිට සූදානම් වෙන්න ඊළඟට විශේෂ අවස්ථාවක් යෙදෙනවා. ඒ තමයි අපේ කොළඹ බාලදක්ෂ දිසාවේ 110 වන සංවත්සරය. එය මේ අවුරුද්දට තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් අපි මේ අවසන් වූ කැම්පරියේ closing ceremony එකෙන් තමයි 110 සංවත්සරය ආරම්භ කළේ. එතැනදී අපේ logo එක reveal කරලා එතන ඉඳන් ඉදිරියට කටයුතු කරගෙන යන්නයි සැලසුම් කළේ. ඒ හින්ද මේ ලබපු අවුරුද්ද කොළඹ බාලදක්ෂයින්ට විශේෂ අවුරුද්දක් වෙයි. විශාල වැඩකොටසක් කරගෙන යන්න, හැම මාසයකම වැඩසටහන් දෙක තුනක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අපේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, හැම අංශයකින්ම විශාල සහයෝගයක් ලැබෙනවා.

● යුගන්ති යශෝදරා

advertistmentadvertistment
advertistmentadvertistment