ජර්මනියේ හෙදියක් 8557කට කොරෝනා එන්නත් වෙනුවට සේලයින් විදලා

1094

ඉකුත් මාර්තු හා අපේ‍්‍රල් මාසවලදී උතුරු ජර්මනියේ එන්නත් මධ්‍යස්ථානයකින් කොරෝනා රෝග මර්දන එන්නත ලබා ගත් බව කියන 8557 දෙනෙකුට හෙදියක් විසින් එන්නත වෙනුවට සේලයින් විද ඇති බවට සැක පහළ වීම හේතුවෙන් ඔවුන්ට නැවත කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස නියම කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 උතුරු ජර්මනියේ ෆ‍්‍රයිස්ලන්ඞ් ප‍්‍රදේශයේ පිහිටි එන්නත් මධ්‍යස්ථානයකින් මෙසේ කොරෝනා මර්දන එන්නත් වෙනුවට හානිකර නොවන සේලයින් එන්නත් කර ඇති පිරිසෙන් වැඩි දෙනෙකු කොරෝනා වෛරසයට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති වයස අවුරුදු 70 ට වැඩි අය බව අනාවරණය වී තිබේ. ඊයේ (12දා * වන විට එසේ සේලයින් විදගත් බවට සැක කෙරෙන පිරිසෙන් 3600ක් දෙනා කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී තිබිණි.

 මෙම සිද්ධිය සැඟවීම සඳහා 40 හැවිරිදි වියෙහි පසුවන අදාළ හෙදිය තමා විසින් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී පුද්ගලයන් 06 දෙනෙකුට සේලයින් එන්නත් කළ බවත් එයට හේතු වූයේ තම අතෙහි තිබූ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් බිම වැටීම නිසා බව පවසා තිබිණි. මේ පිළිබඳව පොලිසිය මගින් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ චූදිත හෙදිය විසින් එන්නත් මධ්‍යස්ථානයෙන් ලබා දීමට නියමිතව තිබූ ෆයිසර් /බයොන්ටෙක් එන්නත වෙනුවට එන්නත් ලබා ගැනීමට පැමිණි විශාල පිරිසකට සේලයින් එන්නත් කර ඇති බවයි. මෙම සිද්ධිය පසුපස දේශපාලන බලපෑමක් ඇති බවට පැතිර යන රාවය පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ. අදාළ හෙදිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවා ඇති සීමාවන් දැඩි ලෙස විවේචනය කර තිබුණු බවද හෙළි වී තිබේ. මෙසේ එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසට සේලයින් විදීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment