රනිල්ගේ ප‍්‍රකාශය පිළිගෙන නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම ගැන එජාපය සතුටු වෙනවා

318

කොවිඞ් කාර්ය සාධක බළකාය විසුරුවා හැර නීතිමය තත්ත්වයක් හිමි කමිටුවක් පත්කරගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශය ආණ්ඩුව තේරුම්ගෙන එවැනි ඒකකයක් පිහිටුවීමට යෑම පිළිබඳව පක්ෂයක් ලෙස සතුටු වනවා යැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙරේදා (11 දා* පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා හමුදාපති, හමුදාව, හමුදාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ කිසිම අවස්ථාවක විවේචනය කර නැතැයිද, ඒ මහතාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිහිබුද්ධියෙන් නැවත අධ්‍යයනය කර බැලූවහොත් එම පිරිසට තේරුම් ගත හැකි බවද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (11 දා* පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

‘‘සෞඛ්‍ය සේවය පිළිබඳව බලය තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය ඇමැතිවරයාටයි. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත සංශෝධනය කළා. එහි බලතල හිමි වෙන්නේ කාටද, එයට අයත් ආයතන මොනවාද කියා එහි ප‍්‍රකාශ කර තිබෙනවා. එම පනත මගින් ආපදා කළමනාකරණය කිරීමේදී ජනාධිපතිවරයා සභාපති ලෙසත්, අගමැති උප සභාපති ලෙසත්, විපක්ෂ නායක සාමාජිකයෙක් ලෙසත් ඇතුළු පිරිසකට බලය පවරා තිබෙනවා.

වසංගත කළමනාකරණයට අලූත් පනතක් ගේන්න යනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. එහි කියලා තියෙනවා දැනට නීතිමය බලතල සහිත පනතක් නැති නිසා නව පනතක් සම්මත කර ගන්න යනවා කියලා. රටේ පළමු කොවිඞ් චීන කාන්තාව හමු වීමෙන් පසු ජනාධිපතිවරයා සමග පැවති පළමු සාකච්ඡුාවේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නීතිමය පනතක් නොමැති බවට එදා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. ඒ වගේම එම සාකච්ඡුාවේදී රෝහල් කටයුතු කළ යුතු ආකාරය, රෝගීන් හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ ඇතුළු වැදගත් කරුණු රැසක් පෙන්වා දී තිබුණා.

එදා සිට රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන් දේ ආණ්ඩුව නොකර සිට දැන් හරි එය ඉටු කිරීමට යෑම පිළිබඳ සතුටු වෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා හමුදා රෝහලේ එන්නත ලබාගෙන හමුදාව විවේචනය කරනවා කියලා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් ප‍්‍රකාශ කර තිබුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා හමුදාපති, හමුදාව හෝ හමුදා එන්නත් කිරීම ගැන විවේචනය කළේ නැහැ. එතුමා කිව්වෙ මේ කරගෙන යන ක‍්‍රියාදාමය නීත්‍යානුකූල නැහැ කියලා පෙන්වා දීමක් පමණයි. ඒ වගේම මෙයට නීත්‍යානුකූල තත්ත්වයක් ඇති කළ යුතුයි කියලත් පෙන්වා දී තිබුණා. මෙයට කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි කියල කිව්වෙ එතුමාට තිබෙන දැනුම අනුවයි. එතුමාගේ කතාවේ කිසිම තැනක හමුදාවට අප‍්‍රසාදය පළ කිරීමක්, විවේචනය කිරීමක් කර තිබුණේ නැහැ.

නීතිමය තත්ත්වයක් නැති කමිටුවක් මඟින් කොවිඞ් සම්බන්ධයෙන් කටයුතු කර ගෙන යෑමේ දී යම් පුද්ගලයකුට සිදු වූ අගතියක් පිළිබඳව අධිකරණයට ගියහොත් එහිදී ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිදු වන බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment