ඇල්පිටිය ප්‍රා. සභාවේ අයවැය පරාදයි

389

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති විසින් 2024 වර්ෂය සඳහා 21 වැනිදා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්දයෙන් පරාජය විය. ඔහුටද සභාපති තනතුර අහිමි වී යන තත්ත්වයක් උදා වී ඇත

එහි බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. සභාපති නලීන් චමින්ද ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගරායේදී ඉකුත් 21 වැනිදා ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්විණි.

නව සභාපති නලීන් චමින්ද ප්‍රියදර්ශන මහතා සභා රැස්වීම ආරම්භ කරමින් සභා ලේකම්වරිය වන අනුශා ප්‍රියදර්ශනී මහත්මියට අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදු කරන ලෙසට දැන්වීය. ඒ අනුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13 ක්ද, විරුද්ධව ඡන්ද 14ක්ද ලැබී ඇති බවත් වැඩි ඡන්ද 1 කින් අයවැය පරාජයට පත් විය. මෙම ප්‍රාදේශීය සභාවේ මීට පෙර වසර 4 ක කාලයක් සභාපති වශයෙන් කටයුතු කර කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ අදූරදර්ශී, අත්තනෝමතික දූෂිත පාලනයට එරෙහිව පාලක පක්ෂයේ ශ්‍රේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව විරෝධතා පවත්වමින් 2024 වර්ෂය වෙනුවෙන් ප්‍රථම වරට ඉකුත් වසරේ දෙසැම්බර් 5 වෙනිදා ඉදිරිපත් කරන ලද අයවැය පරාජය වීම නිසා දෙවන වරටද දෙසැම්බර් 18 වෙනිදා අයවැය ඡන්ද විමසීම සිදු කරන ලදි.

එහිදී අයවැයට පක්ෂව ජන්ද 09 ක් සහ විරුද්ධව ඡන්ද 19 ක් ප්‍රකාශ වීම නිසා කරුණාසේන පොන්නම්පෙරුම මහතාට සභාපති තනතුර අහිමි විය. අනතුරුව දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාවේ කටයුතු පවත්වා ගෙන යෑම සඳහා උප සභාපති ජයසේන නාගොඩ විතාන මහතා පත් කර තිබූ අතර, සභාවේ නව සභාපති වශයෙන් නලීන් චමින්ද ප්‍රියදර්ශන මහතා පත් කරමින් ඉකුත් ජනවාරි මස 28 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබූ අතර ඒ අනුව පෙබරවාරි 01 වෙනිදා නව සභාපති වශයෙන් ඔහු දිවුරුම් දී තිබිණි.

ඔහු විසින් 2024 වර්ෂය සඳහා ඉකුත් 21 වෙනි දින ඉදිරිපත් කර අයවැය ද පරාජය වීම නිසා සභාව අරාජික තත්ත්වයට පත්විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා වූ පියවර පිළිබඳව දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුයේ නැවත දින 14 ක් ඇතුළත දෙවන වරටද ඡන්ද විමසීමක් සිදු කළ යුතුයි.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment