වෙත්තිලකේණී මුහුදු කලාපයට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවරයෝ යාපනයේ ධීවරයන්ගේ දැල් 40ක් කපති

248

ඉන්දීය ධීවර බෝට්ටු විස්සක් පමණ යාපනයේ වෙත්තිලකේණී මුහුදු කලාපයට අනවසරයෙන් පැමිණ යාපනයේ ධීවරයන්ගේ දැල් හතළිහකට වැඩි සංඛ්‍යාවක් 24 දා කපා විනාශ කොට තිබේ.

යාපනයේ ධීවරයන් මේ පිළිබඳව යාපනය වෙත්තිලකේණී ධීවර සංගමය වෙත පැමිණිලි කොට ඇති අතර මේ නිසා එම ධීවරයන්ට සිදුව ඇති අලාභය රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවද සඳහන් කොට තිබේ.

ඉන්දියාවේ රාමේස්වරන් ධීවර සංගමය විසින් ආරම්හ කරන ලද විරෝධතාව නිසා ඉන්දීය ධීවරයන් දින හයක් පමණ උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණීම නැවතී තිබූ නමුත් ඔවුන් විරෝධය අත්හැරීමත් සමගම පැමිණි පළමු දිනයේදීම මෙම විනාශය කොට තිබේ.

යාපනයේ ධීවරයින් ප්‍රකාශ කළේ ඉන්දීය ධීවරයන් තම ධීවරයන්ගේ දැල් හා උපකරණ විනාශ කරන අවස්ථාවේදී නාවික හමුදාවේ යාත්‍රාවක් එම සිද්ධිය දැක ඉන්දීය ධීවරයන්ගේ යාත්‍රා පලවා හැරීමට ක්‍රියා නොකළේ නම් තමන්ට මීට වඩා විශාල හානියක් සිදුවන බවයි.

ඉන්දීය ධීවරයින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටීමට එරෙහිව ඉන්දීය ධීවරයන් විසින් දියත් කළ විරෝධතාවට උතුරේ ධීවරයන්ගේ සහය ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීමේ තරහ පිරිමැසීමට ඉන්දීය ධීවරයන් තමන්ගේ දැල් විනාශ කළ බවද යාපනයේ ධීවරයෝ කියා සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment