හම්බෙගමුවේ කෝටියක් වටිනා ගංජා හේනට වලානෙන් පනී

236

ගංජා පැළ 7560ක් සමග දෙදෙනෙක් මාට්ටු

මොනරාගල හම්බෙගමුව පොලිස් වසමේ අක්කර භාගය පමණ භූමියක රහසිගතව වගාකර තිබූ රුපියල් කෝටියකට වඩා වටිනාකමකින් යුතු ගංජා හේනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වටලා සැකකරුවන් දෙදෙනකු සමග ගංජා පැළ 7560ක් පෙරේදා (30 දා) අත්අඩංගුවට ගෙන ඇත. යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෙම මෙහෙයුම සිදුකර ඇත.

වලාන මධ්‍යම ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත බුද්ධි අංශයේ නිලධාරීන් වන පොලිස් සැරයන් (75056) ඉන්දික, පොලිස් කොස්තාපල් (84889) උදයකුමාර, පොලිස් කොස්තාපල් රියැදුරු (105536) මල්ලවආරච්චි යන නිලධාරීන් යොදවා අනාවරණය කරගත් තොරතුරු මත එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.

අඩි දෙකහමාරක් පමණ උසට තිබූ ගංජා පැළ ගලවා එම ස්ථානයේම ගිනි තබා විනාශ කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියැදි කිහිපයක් ලබගෙන ඇත. මීට සමගාමීව

හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකින් ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් සියයක ප්‍රමාණයක් ද වලාන දූෂණ ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පෙරේදා දිනයේම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හම්බෙගමුව පොලිසියට භාරදී ඇත. මෙම වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි සමන්තිලක මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment