ශ්‍රී පාදයේ ඇහැලකණුවෙන් ඇද වැටුණු ඉන්දීය තරුණයාට නල්ලත්නිය පොලිසිය පිහිට වෙයි

340

රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100 පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන මූලික ප්‍රතිකාර ලබාදී රෝහල් ගත කිරීමට පියවර ගත් බව නල්ලත්නිය පොලිසිය පැවසීය.

මෙසේ ශ්‍රී පාද රත්නපුර මාර්ගයේ ඇහැලකුණුව ප්‍රදේශයේදී ඇද වැටී තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්‍ර සිට මෙරට සංචාරයක් සඳහා පැමිණි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙකි. තුවලකරු ඔහුගේ මිතුරෙකු සමග රත්නපුර ශ්‍රී පාද මාර්ගය ඔස්සේ උඩ මළුව වෙත ගමන් කර ඇති අතර 29 දින අලු‍යම 4.45 ට පමණ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් අඩි 100 ක් පමණ ප්‍රපාතයට ඇද වැටී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා ඉන් මුදවාගෙන ශ්‍රී පාද උඩ මළුව වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ශ්‍රී පාදයට භාණ්ඩ රැගෙන යන බරකරුවන්ගේ සහය ඇතිව නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත යොමු කර තිබිණි. නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විසින් තුවාලකරු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර තුවාලකරු ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව එම රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය. අනතුරෙන් එම තරුණයාගේ හිසට සහ පාදයට සුළු තුවාල සිදු වී තිබිණි.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment