ලොරියේ අනාරක්‍ෂිත කම්බිය විදුහල්පතිගේ ගෙල පසාරු කරයි

932

කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති එච්. ඩබ්ලිව්. පී. සමරරත්න මහතා පෙරේදා (14 වැනිදා) සවස කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් මියගොස් ඇත.

මෙම මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේදී සිය බිරිඳ සමග කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වේල්ස් කුමාර මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය අසලින් අනතුරට පත් යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදී යකඩ බාර් පැටවූ ප්‍රවාහනයට සූදානම් කර තිබූ කොළඹ නගර සභාවේ ලොරි රථයක මීටර් හතරක් පමණ පිටතට නිරාවරණය වී තිබූ යකඩ කූරක් විදුහල්පතිවරයාගේ ගෙල ප්‍රදේශයේ ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ විදුහල්පතිවරයා ගිනි නිවන හමුදාවේ ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර ලැබීමටත් ප්‍රථම මියගොස් ඇත.

මෙම මාරක අනතුරින් බරපතළ තුවාල ලැබූ එම යතුරුපැදියේ පසුපැදිකරු වන මියගිය විදුහල්පති වරයාගේ බිරිඳ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 73 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රිය අනතුර පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන සමරරත්න මහතා මියයන විට 56 වැනි වියේ පසුවී ඇත.

අවසන් කටයුතු පිළිබඳව පසුව දැණුම් දෙන බව බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි පියුමි ශානිකා සිරිවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී ඇය පැවසුවාය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. හැරිසන් හෙට්ටිහේවා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment