සල්ලි තිබුණත් නැතත් පළාත් පාලන මැතිවරණයේ ‘සිස්ටම් එක චේන්ජ්’ කළ යුතුය

270

රටෙහි ජනතාවට ඉසිලිය නොහැකි කුසගින්න,ජීවන බර, බදු බර හා පවතින දැඩි මුල්‍ය අර්බුදය විසඳීම සඳහා දායකවීම කෙසේවෙතත්, වසර 5ක් අභිභවා කල් තබා ඇති පළාත් සභා මැතිවරණ පසෙක තබා, අඩු වශයෙන් වසර 01 ක් කල් තැබූ පළාත් පාලන (LG) මැතිවරණය හෝ 2023 මාර්තු මස අවසානයට පෙර, කෙක්කෙන් හෝ කොක්කෙන් පවත්වාගැනීමට, දේශපාලන පක්ෂ විසින් රජයට බල කිරීම තුල, මැතිවරණ කොමිසම විසින් එය පැවැත්වීමට රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන නිකුත්කරන මෙන් ඉල්ලා ඇත. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ගෙවීම් හා සුබ සාධන ගෙවීම් වැනි අනිවාර්ය මාසික ගෙවීම් කිරීමට පවා, ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන හෙයින් එම තත්ත්වය තවත් බරපතළ කරන LG මැතිවරණයක් සඳහා, ඒසා විශාල මුදල් සම්භාරයක් මේ මොහොතේ ආයෝජනය කිරීමේ අසීරුතාව භාණ්ඩාගාරය විසින් ඉඟි කර ඇත. විද්වතුන් සහ සරසවි ඇදුරන් කිහිප දෙනෙක්ද එම කාරණයම පුවත්පත් ලිපි හා සම්මුඛ සාකච්ඡා මගින් අවධාරණය කර ඇති අතර රටෙහි තත්ත්වය යහපත් වූ විගස මැතිවරණ පැවත්විය හැකි බවද ඔවුන් සඳහන් කර ඇත. එහෙත්, බිම් මට්ටමේ LG මැතිවරණය ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රමයට වහා සිදු කළ යුතු ‘ක්‍රම වෙනස්කම්’ නොහොත් ‘සිස්ටම් චේන්ජ්’ පිළිබඳව ඔවුන්ගේ අවධානයට ලක් නොවීම ස්වෛරී ඡන්ද දායකයන් වන අපට ප්‍රහේලිකාවකි.

බිම් මට්ටමේ මැතිවරණයක ජනතාව පතන ‘සිස්ටම් චේන්ජ්’ LG මැතිවරණයක් තුළින් ප්‍රධාන වශයෙන් අප අපේක්ෂා කරන්නේ, ප්‍රදේශයේ යටිතල පහසුකම් ඇතුළුව සමස්ත සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රගමනය හා රාජ්‍ය සේවා, පොලිසිය සහ අධිකරණ සේවාවලට අදාළව එහි වසන ජනතාවගේ ගැටලු විසඳීම සඳහා, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (DSD) කටම අයත් ග්‍රාම නිලධාරී වසම් (GND)වලට, පළාත් පාලන ආයතන සහ පිළිගත් රාජ්‍ය නොවන සංවිධානද සමඟ එක්ව අපක්ෂපාතී විපර්යකාරකයින් ලෙස සේවය කළ හැකි අව්‍යාජ, පිළිගත හැකි සහ දූෂිත නොවන පුද්ගලයන් තෝරා ගැනීමය. ඒ අනුව, LG යාන්ත්‍රණයේ අරමුණ හුදෙක් දේශපාලන පක්ෂවල ජනප්‍රියත්වය හෝ අප්‍රසාදය පරීක්ෂා කිරීම නොවන බව ‘රට පළමුව’ සලකන සියලුම දේශපාලනඥයන්ට, ස්වෛරී ඡන්දදායකයන් වශයෙන් අපි මුලින්ම අවධාරණය කරමු. පොදුවේ ගත් කල, වත්මන් පළාත් පාලන ආයතන පරිපාලනය පුරවැසියන්ට සහ වරිපනම් ගෙවන්නන්ට අරහන් වී ඇත්තේ එය දේශපාලන පක්ෂග්‍රාහීත්වය, දූෂණය, උද්දචඡකම සහ ආත්මාර්ථකාමිත්වයේ සංකේත බවට පත්ව ඇති නිසාය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වාචාල දේශපාලන ‘හෙන්චයියන්’ කිහිප දෙනකු හැර, සාමාන්‍ය පුරවැසි ප්‍රජාව ‘දේශපාලනීකරණය වූ’ පළාත් පාලන ආයතනයන් කෙරෙහි කිසිම උනන්දුවක් නොදක්වයි. දේශපාලක සභිකයන් නොමැති වුවද, LG බලධාරීන් හට මේ වන විට බරපතළ පැමිණිලි නොමැතිව, උනන්දුවෙන් මහජනතාවට තම රාජකාරිය ඉටු කිරීමට හැකිව ඇත්තේ, සෑම DSD ඒකකයකටම ‘ග්‍රාම නිලධාරීන්‘ ඇතුළු සංවර්ධන, ක්ෂේත්‍ර, තාක්ෂණික හා අධීක්ෂණ නිලධාරීන් ලෙස රාජ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති නිසාය. අනෙක් අතට, මෙම ක්‍රියාදාමය, පවතින නීති හා අණපනත් වලට පටහැනි බව පෙනෙන්නේ ඒවා සකස් කර ඇත්තේ ජනතා සහභාගිත්වයෙන් තොරව හුදෙක් ආත්මාර්ථකාමී, දූෂිත ජනතා නියෝජිතයන්ගේ ඕනෑඑපාකම් අනුව වැඩ කරන ඉහළ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය නිසාය. බුද්ධිමත්, සාමකාමී ‘අරගලය’ ට පින් සිදුවන්නට, මෙතෙක් වසර 74 ක් තුළ කටහඬක් නොමැතිව සිටි ඡන්දදායක බහුතරයට, යල් පැනගිය අණපනත් හා සමස්ත දේශපාලන හා රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ රැඩිකල් ‘ක්‍රම වෙනසක්’ සිදු කරන ලෙස හඬ නගා කීමට හැකිවී ඇත.

‘ක්‍රම වෙනස්කම්’ සඳහා සාමකාමී ‘අරගලයේ’ පවතින තාවකාලික නිහඬතාවය තුළ අප අත්දකින ජුගුප්සාජනක කාරණය නම්, අසාධාරණය, දූෂණය, නාස්තිය හා වියදම් අවම කිරීම තුළින් ජාතික ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පවතින දේශපාලන යාන්ත්‍රණයේ ‘ක්‍රම වෙනසක්‘ ස්වෛරී ඡන්ද දායකයන් විසින් තාර්කිකව ඉල්ලා සිටින විට, පවතින අක්‍රමික මැතිවරණ තුළින් තම බල තණ්හාව සපුරාගැනීමට වෙර දරන සමහරක් ජනතා නියෝජිතයන්ගේ සහ ඔවුන්ගේ පදයට නටන සමහර රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන, විසින් ජනතා හඬ නොසලකා හරිමින්, බීරි අලින් ලෙස තම ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු හා මුදල් ඉපයීමේ බල ව්‍යාපෘතිවල තවදුරටත් නිරත වීමයි.

දේශපාලනඥයන්ගේ ගොඩ වැඩි කර දීමට බදු ගෙවන ජනතාව දායක විය යුත්තේ ඇයි?

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් වලට මුවාවී, රුපියල් බිලියන ගණන් වියදම් වන අක්‍රමවත්, ඵලදායි නොවන මැතිවරණයක් ඉල්ලන දේශපාලනඥයන්ට අනිවාර්යයෙන් වැලඳෙන ‘මැතිවරණ උණ’ හේතුවෙන් තම මූලික යුතුකම් අඩපණ වන අතර, ජනමාධ්‍ය විසින් එය වැළඳගෙන ඔවුන්ට ලබාදෙන අසීමිත ප්‍රසිද්ධිය තුළ වැඩ කරන ජනතාවටද එම උණ බෝවී තම රාජකාරීද පැහැර හැරෙන අතර, ඔවුන්ගේ ජීවන බර හා දැවෙන ප්‍රශ්න අමතක කිරීමටද එය නිසැක වශයෙන්ම බලපාන බව අපි දනිමු. එසේ නම්, එවැනි දේශපාලනඥයන්ගේ ගොඩ වැඩි කරන නිෂ්ඵල ක්‍රියාවලියකට, පීඩිත ජනතාව දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් අසීමිත ලෙස වක්‍ර බදු ගෙවමින්, දායක විය යුත්තේ ඇයි? ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දරුණුතම ආහාර, ආර්ථික හා විරැකියා අර්බුදයකට දැන් මුහුණ දෙමින් සිටින බව පුරවැසි අපට පමණක් නොව මුළු ලෝකයටම නොරහසකි. එනිසා, අපගේ රාජ්‍ය සේවයේ සංඛ්‍යාව අඩු කරන ලෙස බල කරන ෂඵත්‍ සහ ලෝක බැංකුව වැනි ගෝලීය මූල්‍ය සපයන්නන්, අපගේ දේශපාලන පරිපාලන පද්ධතියේ ඵලදායි නොවන සංඛ්‍යා හා තල අඩු කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.

IMF විසින් නිර්දේශ කර ඇති පරිදි විශාල ලෙස බදු වැඩි කිරීම්වලට එරෙහිව ජනතාව දැනටමත් වීදි බැස තිබේ. දැවැන්ත දේශීය මෙන්ම විදේශීය ණය බර දරාගත නොහැකිව රටේ නාඩි නැවතී සිටින මොහොතක, ආත්මාර්ථකාමී දේශපාලකයන් තීරුබදු රහිත සුඛෝපභෝගී වාහන, විශ්‍රාම වැටුප්, පුද්ගලික කාර්ය මණ්ඩල සහ බදු ගෙවන්නාගේ වියදමින් තවත් වරප්‍රසාද සහ දීමනා සඳහා සුදුසුකම් ලැබීමේ සිහින මවමින් තම ගොඩ වැඩි කර ගැනීමට උත්සාහ දරමින් සිටීම, ඔවුන්ව තෝරා පත් කිරීමට ඉඩ ප්‍රස්තාව ලබාදුන් මැතිවරණ ක්‍රමයේ විශාල අඩු පාඩුවක ප්‍රතිඵලයක් බව සාමකාමී ‘අරගලය’ විසින් ‘225ම ගෙදර යවමු’ යන සටන් පාඨයෙන් පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයක් තුළ, රටේ සංවර්ධනය වෙනුවෙන් අවංකවම උනන්දුවක් දක්වන බදු ගෙවන්නන්/ස්වෛරී ඡන්දදායකයින්, බිම් මට්ටමේ ‘ක්‍රම වෙනසක්’ තුළින් අපේක්ෂා කරන්නේ , LG මැතිවරණ අනාගත ‘දේශපාලන වෘත්තිකයන්‘ සඳහා පැළ තවාන් බවට පත්වනවා දැකීම මිස, ‘දූෂිත දේශපාලකයන්’ බිහි කරන තෝතැන්නක් බවට පත්වීම නොවේ. !

රට ගොඩ ගැනීම සඳහා බිම් මට්ටමේ ‘සිස්ටම් චේන්ජ්’ ‘ක්‍රම වෙනස්කම්’

ජනාධිපතිතුමා, අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු භාර ඇමැති තුමා ඇතුළු ආණ්ඩු හා විරුද්ධ පක්ෂය මෙන්ම ජාතික මැතිවරණ කොමිසම, නීතිපතිතුමා හා නීති කෙටුම්පත් අංශයේ අදාළ බලධාරීහුද එක්වී, පළාත් පාලන මැතිවරණයට පෙර පහත සඳහන් පරිදි, බිම් මට්ටමේ ‘ක්‍රම වෙනසකම්’ කඩිනමින් නීතිගතකර, අපේ රටට ශාපයක් වන මෙම හානිකර ‘දූෂිත හා ගැටුම්කාරී’ දේශපාලන ක්‍රමය වෙනුවට, ජනතාව පදනම් කරගත් සරල, දේශීය දේශපාලන ක්‍රමයක් ඇති කිරීම ආරම්භ කරන මෙන් ස්වෛරී ඡන්ද දායකයන් වශයෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

1) සමාජ සාධාරණය සඳහා ජාතික ව්‍යාපාරය (NMSJ) විසින් යෝජනා කර ඇති පරිදි, GND මට්ටමින් ජනතාව පදනම් කරගත් දේශපාලනික නොවන ස්වාධීන ‘ජන සභා’ (JS) පිහිටුවීම සඳහා, ජනාධිපතිතුමා විසින් දැනටමත් සිය එකඟත්වය ලබා දී ඇති හෙයින්, පළාත් පාලන මැතිවරණය වහාම නිර් දේශපාලනීකරණය කළ යුතුය.

2) මීළඟ පළාත් පාලන (LG)මැතිවරණයේදී එක් එක් JS හට, අවංක, අපක්ෂපාතී සහ සමාජීය වශයෙන් පිළිගත හැකි වසමේ අපේක්ෂකයන් 3 දෙනකු (පිරිමි 01, ගැහැනු 01 සහ වයස අවුරුදු 35 ට අඩු තරුණ 01) නම් කිරීමට ඉඩ සැලසිය යුතුය. එක් එක් GND මට්ටමින් ඉහළම ඡන්ද සංඛ්‍යාව ලබන අපේක්ෂකයා වසමේ න්‍ී නියෝජිතයා/විපර්ය කාරකයා බවට පත්වන අතර ඔහු/ඇය, DSD මට්ටමේ LG බලධාරීන් සමඟ වසමේ නිර්දේශ/ගැටලු යොමු කරමින් ක්‍රියාකරනු ඇත. පහළ සිට ඉහළට දිවෙන පරිපාලන ක්‍රමය යටතේ අවශ්‍ය පරිදි, ඔවුන් විසින් පළාත් සභා හා පාර්ලිමේන්තු මට්ටම දක්වා ඉහළට යොමුකරමින් විසඳුම් ලබා දෙනු ඇත.

3) අනවශ්‍ය පරිපාලන බාධක මඟහරවා, සාර්ථකව මැතිවරණය පැවැත්වීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුටම බලය පැවරිය යුතුය. ඒ අනුව තම බල ප්‍රදේශයේ ඡන්ද පොළ නියෝජිතයන් වශයෙන් JS සාමාජිකයන් සහ ග්‍රාම නිලධාරීන් ඉදිරිපිට මැතිවරණය පැවැත්විය යුතුය.

4) පත්වන JS නියෝජිතයන්ගේ ඡන්දයෙන් ‘ප්‍රාදේශීය සභා’, නගර සහ මහ නගර සභා මට්ටමින් නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගත හැක.

5) රටපුරා 14,000 ක් පමණ වූ ස්වාධීන JS නියෝජිතයන් විසින් නිසැකවම, දැනට පවතින පක්ෂග්‍රාහී, දූෂිත දේශපාලන LG යාන්ත්‍රණය අභිබවා, පරිධියේ ජනතාවට, අපක්ෂපාතී, අර්ථවත් සහ ඵලදායී සේවයක් සලසනු ඇති බව ස්ථිරය.

6) දැනට සිටින 8,600 කට අධික, දේශපාලනික LG සභිකයන්ට ගෙවන මාසික මුළු පිරිවැයට සාපේක්ෂව අඩු මුළු පිරිවැයක් සහතික කරන මාසික දීමනාවක් JS නියෝජිතයන්ට ගෙවිය හැක.

7 ) මෙම න්‍ී නියෝජිතයන් අනාගතයේදී, ‘රට පළමුව’ යන ආකල්පයෙන් යුතුව, තමන් කැමති දේශපාලන පක්ෂවල සාමාජිකයන් බවට පත්වී, වෘත්තීමය පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තරග කිරීමට සුදුසුකම් ලබනු ඇත.

8 ) මීළඟ සීමා නිර්ණ අභ්‍යාසය නිම කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇති බැවින්, නව පළාත් පාලන මැතිවරණය සඳහා, පවතින සීමා මායිම් සලකා බලන ලෙස යෝජනා කරමු.

අමතර නිර්දේශ හා වාසි

1) LG යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය වීමත් සමග, පළාත් සභා (PC), 13 වන සංශෝධනය තුළින් දේශපාලනිකව වඩාත් ශක්තිමත් කර, ජාතික සංහිඳියා ව්‍යායාමය සාර්ථක කර ගත හැක.

2) PC සහ ජාතික පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්විය යුත්තේ ‘මනාප ක්‍රමය’ අහෝසිකර, ‘දේශපාලනික වෘත්තිකයන්’ ගෙන් සමන්විත ‘දිස්ත්‍රික් කුසලතා ලැයිස්තු උපයෝගිකර ගන්නා පිරිසිදු සමානුපාතික ගණිතයට යටත් නියෝජන ක්‍රමයක් මතය. එවිට, උතුර, දකුණ, බටහිර සහ නැගෙනහිර වසන සියලුම ඡන්දදායකයන් හට, ජාතිය, කුලය හා ආගම යන වෙනස්කම්වලින් තොරව, සමාන වටිනාකමක් ඇති ඡන්ද පත්‍රිකාවක් අතැතිව , සැබෑ ‘ශ්‍රී ලාංකිකයන්’ ලෙස අභිමානයෙන් තමන් කැමති පක්ෂයට ඡන්දය ලකුණු කිරීමට අවස්ථාව උදාවේ.

3) තවද, ඉහත සඳහන් සමානුපාතික නියෝජන පදනම යටතේම ‘බහු පාක්ෂික/ජාතික කැබිනට් මණ්ඩලයක්’ පිහිටුවීම තුළ සැබෑ ‘ශ්‍රී ලාංකිකත්වය’ තවත් තීව්‍ර වී, අප රට ආදර්ශවත් ‘තරු පහේ’ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කළ හැකිය.

නිගමනාත්මක සටහන්

සාමකාමී ‘අරගලය’ පතන ‘ක්‍රම වෙනස්කම්’ වලට මුල පුරමින් ඉහත සඳහන් බිම් මට්ටමේ ‘ක්‍රම වෙනස්කම්’ නීති ගත කිරීමට දායක වන ලෙස, වහා මැතිවරණයක් ඉල්ලා සිටින අයගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, අනෙක් අණ පනත් කෙසේවෙතත්, ජනතා නියෝජිතයන් කෙරෙහි ‘බැඳියාවන් පිළිබඳ ගැටුමක්’ ඇතිකරවන රටෙහි ප්‍රධාන මැතිවරණ ක්‍රම හා මූලික නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රධාන වගකීම, ජනතා පරමාධිපත්‍යය අනුව එහි ප්‍රමුඛ පාර්ශ්වකරුවන් වන ස්වෛරී ඡන්දදායකයින් බාර ගත යුතු කාලය එළඹ ඇති බැවින්, ඉහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත් ප්‍රමුඛතාවක් ලෙස සලකා කඩිනමින් සකස් කරන ලෙස බලධාරීන් වෙත අවධාරණය කරමු. ස්වෛරී ඡන්ද දායකු වශයෙන්, රචක විසින් වසර ගණනාවක සිට පුවත්පත් හා බලධාරීන් වෙත යථෝක්ත යෝජනා ඇතුළු සවිස්තරාත්මක යෝජනාවලියන් ඉදිරිපත් කර ඇත.

අවසාන වශයෙන්, ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පයට අනුකූලව ‘ජන-සභා’ හරහා LG යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා, සමාජ සාධාරණත්වය අරමුණු කරගත් NMSJ විසින් ඉදිරිපත් කළ සහේතුක සහ කාලෝචිත යෝජනාව පිළිබඳව රචකගේ ගෞරවනීය ආචාරය මෙයින් පුද කෙරේ.

බර්නාඩ් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment