චීනේ ඉල්ලලත් නෑ! අපි දෙන්නෙත් නෑ! රිළා ප්‍රශ්නයට විසදුමකුත් නෑ!

157

මේ දින වල රටේ පිනුම් ගහන ප්‍රශ්න අතර බරපතළම ප්‍රශ්නය රිළා ප්‍රශ්නය ය. ඒ රිළවු ලක්‍ෂයක් චීනෙන් ඉල්ලුවා යැයි කී නිසා ඇතිවූ අර්බුදයක් නිසාය. මේ මොහොත වනවිට, “අපි ඉල්ලුව රිළවෙක් නෑ” යැයි චීනය කියා තිබේ. ඒ කෙසේ වෙතත්, චීනය නොව මුළු ලෝකයම ඉල්ලුවත් නැතත් අපිට විසඳන්නට රිළා ප්‍රශ්නයක් ඇත.

ලංකාවේ ප්‍රධාන වශයෙන් රිළා උප විශේෂ දෙකක් ජීවත් වන්නේය. ඉන් කොටසක් ජීවත් වන්නේ තෙත් කලාපයේ කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලය. ඔවුන් විද්‍යාත්මකව හඳුන්වන්නේ මැකාකා සයිනිකා ඔරිෆෝන්ස් (macaca sinica aurifornd.) කියාය. මෙයින් වැඩිම ගහණයක් ඇත්තේද වැඩිම වගා හානියක් කරන්නේ ද වියළි කලාපයේ ජීවත් වෙන මැකාකා සයිනිකා උප විශේෂය.

රිළවු හිඳින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේ පමණය. නිවැරදිව කිවහොත් රිළවු ලංකාවට ආවේණිකය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව ලංකාවේ රිළා ගහනය ලක්‍ෂ තිහකි.

මේ අධිගහනය වූ රිළා පරපුර ගැන ගොවියන්ට ඇත්තේ නම් ජම්මාන්තර තරහකි. රිළවු රට පැටවීම සම්බන්ධයෙන්ද ඔවුන් දක්වන්නේ යම් මට්ටමක ධනාත්මක මෙන්ම රිනාත්මක අදහසකි.

“රිළවු කියන්නෙ සාපයක්. ගොවිතැනක් බතක් කරගන්න තියා ගෙයක් දොරක් ඇතුළෙ ඉන්න බෑ. මං දවස් තුනකට කලින් කජු දැම්මෙ. ඒ දාපු වළවල් හාරගෙන කජු ටික කාල. කිලෝ තුනක විතර කජු. ගහක් හැදෙන්න නෑ කොළ හූරන් කනව. ඉස්සර මෙහේ මුරුංගා ගස් පිරිල. දැන් බේතකටවත් ලේසියට මුරුංග ගහක් හොයාගන්න නෑ. පොඩි ළමයෙක්ට ගෑනියෙක්ට එළියෙ ඉන්න බෑ හපාකනව. ලක්‍ෂයක් යවල මොනා කරන්නද ලක්‍ෂයක් හොයල දෙන්නම් අපේ ගමෙන්ම. අනිත් එක ඔය ගෙනිච්චත් ගෙනියන්නෙ මේ ගොවිතැන් කරන ඉඩම්වල සත්තු නෙවෙයිනෙ. ගෙනියන්නෙ පූජා නගරයෙ රජමහා විහාරවල ඉන්න සත්තු නෙ. ඒකෙන් අපිට ලැබෙන දෙයක් නෑ. අනිත් එක ඔය ගෙනියන ලක්‍ෂෙ මාසෙන් ආයෙ බෝ වෙයි. මරන්නම වෙනව. මන් කියන්නෙ ගොවියන්ට එයා රයිෆල් දෙන්න කියාය. මේ ගමේ කීයක්නම් මිනිස්සු මේ ප්‍රශ්නෙ නිසා ගොවිතැන් ඇතෑරියද? කුරක්කන් ටිකක් වී ටිකක් ධාන්‍යක් වේලගන්න බෑ. ගහක් කොළක් හදාගන්න බෑ. මේ වත්තෙ ඉස්සර අඹ, ගස් ලබු, සියඹලා පිරිල තිබ්බ. දැන් මුකුත් නෑ.” තණමල්විල පදිංචි හේන් ගොවියෙකු වූ අජිත් සිරිවර්ධන කියා සිටියේය.

ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් සීකට හතළිහක් වන සත්ත්ව හානි වලින් විනාශ වන්නේය. ඒ හේතු නිසා වගා කටයුතු අතෑරිය පිරිසද සුළුපටු නොවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව 2022 වර්ෂයේ මුල් මාස හය තුළ ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙටි්‍රක් ටොන් 144,989 ක් වන සත්ත්ව හානි වලින් විනාශ වී ඇත. එම හානිය දළ වශයෙන් රුපියල් මිලියන 30,000කට ආසන්නය. වන සත්ත්ව හානි නිසා වාර්ෂිකව වගාවට වන හානිය 40%ක ප්‍රතිශතයකි. වගාවන්ට හානි කරන සතුන් අතර රිළවා, වල් ඌරා, ඉත්තෑව, අලිය, මොනරා, දඬුලේනා ආදී සතුන් ඉහළින්ම සිටියි. වැඩියෙන්ම වගා හානි සිදු කරන්නේ රිළවාය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු පර්යේෂණ ආයතනය කළ සමීක්‍ෂණයකට අනුව ගොවි සංවර්ධන බල ප්‍රදේශ 110කට රිළවුන් පූර්ණ හානි කර ඇති බව හෙළිවී ඇත. බල ප්‍රදේශ 235කට උග්‍ර හානි කර ඇත. 155කට අර්ධ හානි කර ඇත. පොල් ත්‍රිකෝණයට බරපතළම හානි කරන සත්ත්වයා රිළවාය. 2022 වර්ෂයේ පමණක් පොල්ගෙඩි මිලියන 180ත් 200ත් අතර ප්‍රමාණයක් රිළවුන් විසින් විනාශ කර ඇත.

ස්වභාවික පරිසර පද්ධතියක් තුළ සාමාන්‍ය රිළා රංචුවක සිටින්නේ හතරක් විසිපහක් අතර ප්‍රමාණයකි. එහෙත් අනුරාධපුර පොලොන්නරුව දඹුල්ල මහනුවර වැනි පූජා නගරවල, කුරුණෑගල තණමල්විල, මොණරාගල වැනි ප්‍රදේශවල කොළඹ, මහියංගනය පාරවල් වෙනත් ප්‍රසිද්ධ රජමහා විහාර දේවාලවල, යාල, විල්පත්තු, බුන්දල වැනි වනාන්තර ආශ්‍රිතව මිනිස්සු ගිමන් හරින රැඳී සිටින ප්‍රදේශවල ආශ්‍රිතව සිටින රිළා රංචුවල සාමාජිකයන් පනහක් සීයක් ආසන්න දකින්නට හැකිය.

චීනේ ඉල්ලලත් නෑ! අපි දෙන්නෙත් නෑ! රිළා ප්‍රශ්නයට විසදුමකුත් නෑ!

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චාමලී නහල්ලගේ රිළවුන් ගැන කළ අධ්‍යනයකට අනුව රිළවුන් ගම් වැදීමට ගම්මානවල අවිධිමත් කසළ බැහැර කිරීමත් හේතුවක් බව හඳුනාගෙන ඇත. මුලින්ම කසළ ආහාරයට ගන්න එන රිළවු ඊට පස්සේ බැල්ම හෙලන්නෙ භෝග වගාව වෙතය. විශේෂයෙන් විහාර හා දේවාල ආශ්‍රිතව සිදුවන පලතුරු මල් ආහාර ආදිය අවිධිමත්ව බැහැර කිරීම් ඒ ප්‍රදේශ ආශ්‍රිතව රිළවු අධිගහනය වීමට හේතුවක් වී ඇත. එමෙන්ම මිනිසුන් වන සතුන්ට ආහාර දීමත් මේ තත්ත්වය හේතු වී ඇත. ස්වභාවික පරිසර පද්ධතියක් තුළ රිළවුන්ට ඒ තරම් ආහාර ලැබෙන්නේ නැත. ඒ නිසා ඔවුන්ගේ ගහනය ස්වභාවිකවම පාලනය වන්නේය. ඒ කියන්නේ ස්වභාවිකවම රිළවු බොහෝ දෙනා ආහාර හිඟ නිසා මිය යන්නේය. එහෙත් මිනිස් ක්‍රියාකාරකම් නිසා එකී පාලනය වීම සිදුවන්නේ අවම ලෙසය.

මේ කිව්වේ මිනිස් භෝග වගාවට වෙන හානිය. රිළවුන් අධි ගහනය වීම ස්වභාව දහමේ සමබර බවටද ගැටලු ඇති කරයි. සර්ව භක්ෂකයෙක් වන රිළවා දළඹුවන් කුඩා කෘමි සතුන් කුරුල්ලන් කුරුලු බිත්තර ආදිය කා දමයි. විශේෂයෙන්ම කුරුලු බිත්තර ඔවුන්ගේ ප්‍රියතම ආහාරයකි. සමහරක් ස්ථානවලින් කුරුලු ජනපද පවා විනාශ වී යෑමට රිළවුන් හේතු වී ඇත. මීට අවුරුදු දහයකට පහළොවකට පමණ පෙර වැව් වටා පිහිටි සිය ගණනක් කූඩු තිබූ වඩු කුරුලු ජනපද විනාශ වී යෑමට රිළවු හේතුවී ඇත.

රිළවුන්ගේ ගහනය පමණක් නොව මොණරුන්, වඳුරන්, දඬු ලේන්නු ආදී සත්ත්ව ගහන වැඩි වීමට ශ්‍රී ලංකාවේ ආහාර දාමයේ අග්‍ර විලෝපිකයන් වන දිවියන් මූලික විලෝපිකයන් වන හිවලා, වල් බාවා, කොළ දිවියා, අදුන් දිවියා, පිඹුරා ආදී සතුන් මිනිසුන් විසින් ඉවක් භවක් නැතුව මරා දැමීම හේතු වී ඇත. විශේෂයෙන්ම ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම මේ තත්ත්වය තවත් සංකීර්ණ කරයි.

සොබාදහමේ සමබර බව ඉතා සංකීර්ණය. දඬු ලේන්නුන්ගේ ගහනය වැඩි වීවට කාක්කන් ගම් වලින් ඈත් වී නගරයට සංක්‍රමණය වීම එක් හේතු වී ඇත. කාක්කන් ලේන් පැටවු දඬු ලේන්නු පැටවු ආහාරයට ගනියි. පහසු ආහාර වෙනුවෙන් කාක්කන් නගර වටා රැස් වේ. මේ නිසා දඬුලේන් හහනය පාලනය වීම අඩු වෙයි. මොණර බිත්තර සර්පයන්ගේ ප්‍රියතම ආහාරයකි. අපේ ඇත්තන්ට පිං සිද්ධ වෙන්න අපි සර්පයන් විනාශ කරන්නෙමු. එය මොණර ගහනය ඉහළ යෑමට එක් හේතුවකි. මකුළු දැලක් මෙන් එකිනෙකා හා බැඳී පවතින ස්වභාව දහම් ආහාර ජාලයක එක් කොටසක් අධි ගහනය වුවහොත් හෝ වඳවී ගියහොත් එය අනෙක් විශේෂවලට බලපාන්නේය. ගහන පාලනයට ගොවි ජනතාව ඉදිරිපත් කර ඇති විසඳුම නම් උන් මරා දැමීමය. ලෝකයේ අධි ගහනය වූ සත්ත්ව විශේෂ රජයේ තීරණ මගින් මරා දැමූ අවස්ථා බොහෝය. ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන විසිපහකි. කැන්ගරු ගහනය මිලියන 48කි. ඔවුන් 2019 වර්ෂයේ කැන්ගරුවන් මිලියන 1.57ක් මරාදැමුවේය. එහෙත් සමබරතාව පිළිබඳ විශ්ව නීතිය මෙහිදී අපිට අමතක කරන්නට බැරිය. 1958 වර්ෂයේ චීනයේ මාඕසේතුන්ගෙ රජය ගේ කිරුල්ලන් සමූල ඝාතන කළේ ගේ කුරුල්ලන් ධාන්‍ය කන නිසාය. එහි අරමුණ වූයේ අස්වැන්න වැඩි කර ගැනීමය. ඒ බලාපොරොත්තු ඉටු නොවූයේ ගේ කුරුල්ලන් නැති නිසා අධි ගහනය වූ කෘමි සතුන් අස්වැන්න විනාශ කළ නිසාය. රිළවුන් සමබරතාව බිඳ වැටෙන ලෙස මාරා දැමුවහොත් කුරුල්ලන් දලඹුවන් වෙනත් කුඩා සත්ත්වයන් අධිගහනය වීමේ අවදානමක් ඇත.

මේ සතුන් වන්ද්‍යාකරණය කරන්නට යෝජනා ඉදිරිපත් වී ඇතත් පාරේ සිටින බල්ලන් වන්ද්‍යාකරණය කරන්නට නොහැකි වූ රටක ගස් වල සිටින රිළවුන් වන්ද්‍යා කරන්නේ කෙසේදැයි සිතන්නට අවශ්‍යය.

ආහාර ලෙස රට පැටවීම තවත් විසඳුමක් ලෙස සමහරක් පාර්ශ්ව ඉදිරිපත් කරන්නේය. ලයිබීරියාව, කොංගෝ, කැමරූනය, සුඩානය, බ්‍රසීලය, මෙක්සිකෝව, කාම්බෝජය, වියට්නාමය, චීනය වැනි රටවල වානරයන් ආහාරයට ගනියි. දඩ මස් සොයා කතරගම යන ඇත්තන්ට රිළා මස්, වඳුරු මස් විකිණීම කරන බව කතරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසකි. එහෙත් වානර මස් අනුභව කිරීමේ ඇති ගැටලුව වානර විශේෂ අතර වසංගත රෝග පැතිර යෑමේ අවදානම් ඉහළ වීමය. ඒඩ්ස් රෝගයේ ආරම්භය අප්‍රිකානු කොළ වඳුරු මස් කෑම බව සමහර තොරතුරු මූලාශ්‍ර පවසයි.

රිළවු රට පටවීමට පරිසර සංවිධාන විරුද්ධය.

“වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතට අනුව ඒ සම්බන්ධව තීරණ ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ ගැන තීරණ ගැනීමේ බලයක් නැති බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇත්තේ වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බව” ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කර ඇත.

චීනයට හෝ වෙනත් රටකට රිළවු පැටෙවුවාට රිළා ප්‍රශ්නය විසඳෙයි යැයි සිතන්නට නොහකිය. ඔවුන් ලක්‍ෂයක් මිලදී ගත්තත් ඉන් පසු නැවතත් රිළවු මිලදී ගනියි යැයි සිතන්නට අමාරුය. ඒ ඔවුන්ට ඒ රටේදීම ලබා ගත්ත රිළවුන්ගෙන් පැටවු ලබා ගත හැකි නිසාය. ඒ ඉවත්ව ගිය රිළා ප්‍රමාණය නැවතත් මාස හය හතකින් දෙගුණ වෙනු ඇත. අපිට රිළවු සම්බන්ධයෙන් අපේම විසඳුමක් අවශ්‍යය.

මධුෂාණි කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment