රටේ ආර්ථිකය හොඳ වර්ධනයකට පත්වෙලා – ඉදිරියේදී රට අවදානම් කලාපයෙනුත් ඉවත් වෙනවා – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

58

රටේ ඉස්සෝ නිෂ්පාදනය ඉහළ මට්ටමක තිබියදී ඉන්දියාවෙනුත් ගෙන්නලා – විජිත හේරත් (ජාජබ)

අර්ථ සාධක අරමුදල් ආයෝජනයේ ප්‍රතිලාභ සාමාජිකයන්ට බෙදා දෙන්න – ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

දේශීය ව්‍යාපාරිකයා රැකගැනීමට දැඩි තීන්දු ගත යුතුය – මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

රටේ ආර්ථිකය ඉතා හොඳ වර්ධනයකට මේ වනවිට පත්ව ඇති නමුත් අවදානම් කලාපයෙන් ඉවත්ව නැති බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීමෙන් පසු මාස හත අටක් ඇතුළත එම අවදානමෙන් ඉවත්ව යන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

මුදල් පනත් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විවාදය ආරම්භ කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

වර්තමානයේ ගොඩනැඟී ඇති ස්ථාවරභාවය නැති කරන්න විපක්‍ෂයට සම්බන්ධ සංවිධාන උත්සහ කරනවා. එයාලට වැඩපිළිවෙළක් නෑ. පසුගාමී මට්ටමක අතීතයක් සමග ජීවත් වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි ඔවුන් යෝජනා කරන්නේ.

අපේ විශේෂම අභියෝගය තමයි අපේ වියදම් කළමනාකරණය. එහි විශාලම ගැටලුව ණය පොලී ගෙවීමයි. වසර එකහමාරකට පෙර දී විදේශ වෙළෙඳපොළ අහිමි වුණා. එනිසා දේශීයව පවතින මුදල් තුළින් මහජන අවශ්‍යතා සැපිරුවා. එදා තිබූ සියයට 35 පොලී අනුපාතය මේ වන විට තනි ඉලක්කමක අගයක් බවට භාණ්ඩාගාර බිල්පත්වල පත්වෙලා. එමගින් ගෙවිය යුතු පොලී ප්‍රමාණය අඩුවී තියෙනවා. මෙය දැකිය නොහැකි පිරිසක් ඉන්නවා.

රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. අද වනවිට සංචාරක ව්‍යාපාරය ශක්තිමත් වී තියනවා. මේ දියුණුව ඇති වුණේ පෞද්ගලික අංශයේ දැඩි කැපවීම නිසයි. අද උපරිම දායකත්වය ලබා දීමට පෞද්ගලික අංශය සමත් වී තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ වාර්තාගතවීම් පවතිනවා.

සියයට 70ට තිබූ උද්ධමනය සියයට 5ට අඩුවෙලා. ඩොලරය අද රුපියල් 310 ට ඇවිත්. විදුලි බිල අඩුවෙලා. රුපියල ශක්තිමත් වීම බිල අඩු කිරීමට බලපෑවා.

2022 වසරේදී ප්‍රධාන ආයතන 52ක් රුපියල් බිලියන 743ක් අලාභ ලැබුවා. ඒවාට වැය කළේ ජනතා මුදල්. අද ඒ ආයතන 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. ඒ අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ විසඳුම් නිසයි. එය කිසිම අවස්ථාවක මහජනතාවට බරක් වුණේ නෑ.

අපි හොඳම වර්ධනයක් ලැබුවත් තවම අවදානම් කලාපයෙන් ඉවත් වී නෑ. ඉන් ඉවත් වීමට තවත් මාස හත අටක කාලයක් ගතවේවි. අපේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළ එය සාර්ථක කරගන්න පුළුවන්.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු-

ආර්ථිකය කඩාවැටීම තුළ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැඩි ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවුණා. එනිසා ව්‍යාපාර කඩාවැටුණා. ඊට කෙටිකාලීන, දීර්ඝකාලීන වැඩසටහන් අවශ්‍ය වුණා. බැංකු පොලිය අඩුකර අමුද්‍රව්‍ය ආනයනය බාධා ඉවත් කරලා සහන සලසන්න ක්‍රියාකළා. මෙම ව්‍යාපාරිකයන් දීර්ඝකාලීනව ප්‍රශ්නවලින් මිදී ඉහළ ව්‍යාපාරිකයන් බවට පත් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආර්ථිකයට අත්‍යවශ්‍යයි. ආර්ථිකය කඩාවැටීම තුළ මේ ව්‍යාපාරිකයන් කඩාවැටීමක් වුණා නම් එහි වගකීම අපි භාරගන්න අවශ්‍යයි. වැඩපිළිවෙළක් අපි දෙන්න ඕන. ආර්ථිකය වැටීම තුළ ඉඩම් සින්න වෙනවා නම් මැෂින් අමුද්‍රව්‍ය නැති වෙනවා නම් පරාටේ නීතිය තුළ ආයතනය වෙන්දේසි වෙනවා නම් අපි වගකීම් ගත යුතුයි. ඒනිසා තමයි රජය පරාටේ නීතිය යටතේ වෙන්දේසි කිරීම තාවකාලිකව කල් දැම්මෙ.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ) – රාජ්‍ය මූල්‍ය භාරකාරත්වය භාරදීල තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. මහ බැංකුව ගැන අලුත් පනතක් 2023 ආවා. පනතින් මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය හිමිකර ගන්න කරපු ස්වාධීනත්වය නිසා ඔවුන් හිතනවා මහ බැංකුව සතු මුදලුත් ස්වාධීන කළා කියලා හිතනවා. මූල්‍ය අරමුදල කිව්වා මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම් බලය ස්වාධීන කරන්න කියලා. මහ බැංකුව හිතනවා එහි මුදල් වියදම් කරන්න හිමිකම තියනවා කියලා. මේ මතය තුළ ඉඳලයි ඔවුන් පඩි වැඩි කරගෙන තියෙන්නේ.

රටේ ජනාධිපති ලේකම්ගේ වැටුප මහ බැකුවේ කාර්යාල කාර්ය සහයකගේ වැටුපට වඩා අඩු වුණාට කමක් නෑ කියලා ඔවුන් හිතනවා.

මහ බැංකුව හිතනවා ඔවුන් වෙනම පාලනයක් සහිත කොටසක් කියලා. මහ බැංකු පනතට වහාම සංශෝධන ගණනාවක් අවශ්‍යයි. බරපතළ තත්ත්වයක් ඇතිවීමට පෙර විසඳිය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජා.ජ.බ.) – අපේ රටේ මත්ස්‍ය කර්මාන්තය විශාල අර්බුදයකට ලක්වෙලා. රටේ ඉස්සො මෙටි්‍රක් ටොන් 15000ක් පමණ වසරකට නිෂ්පාදනය කරනවා. එසේ තිබියදී පසුගිය වසරේ ඉස්සෝ මෙටි්‍රක් ටොන් හයදහසක් ප්‍රති අපනයනය කරන්න කියලා ඉන්දියාවෙන් ගෙනල්ලා තියෙනවා. ඉන්දියාවේ ඉස්සො ලංකාවේ ඉස්සො විදියට දෙනවට රටට ගැටලු රැසකට මුහුණ දෙනවා. අපේ රටේ අපනයනය කළ හැකි ප්‍රමිතියට ඉස්සෝ නිපදවනවා. දැන් ඉස්සො ඉන්දියාවෙන් ගෙන්වීම නිසා දේශීය ව්‍යාපාරිකයෝ අසරණවෙලා. ප්‍රති අපනයනය මුවාවෙන් විශාල ජාවාරමක් ක්‍රියාත්මකයි. මේ ගැන බලධාරීන් දැනුවත් කළත් වැඩක් වෙලා නෑ.

ගම්මිරිස්, කරුංකාවලටත් පසුගිය කාලේ මේ දේම තමයි සිදුවුණේ. ප්‍රති අපනයනය නිසා දේශීය කර්මාන්ත විනාශ වුණා.

පොලිස්පතිවරයා පත් කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය වැරදියි. එය වහාම නිවැරදි කරන්න. කථානායකවරයාගේ ක්‍රියාකලාපයත් වැරදියි. ජනතාවට වැරදි පූර්වාදර්ශ දෙන්න එපා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ) – දේශීය ව්‍යාපාරිකයා රැකගැනීමට දැඩි තීන්දු ගත යුතුයි. කසළ තේ නිසා ලංකාවේ තේවලට දැඩි බලපෑමක් එල්ලවෙලා.

බලය ලබා දුන් ස්වාධීන ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැන යළි සිතා බැලිය යුතුයි. පොලිස්පති පත් කිරීමේදී ප්‍රශ්න මතු වුණේ මෙවැනි ප්‍රශ්න නිසයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්ගොඩි (ශ්‍රී.ල.පො.පෙ.) – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන දෙන්න විශාල ලෙස ඉල්ලීම් ආවත් ඒ ගැන කල් මරලා මරලා විශාල ලෙස අසරණ වූවාට පසුව දැන් වගේ අත දෙන්න හිතුවා නම් ප්‍රමාද වී හෝ ඒ ගැන සතුටුයි.

අපනයන දිරිමත් කරන්න අදටත් කිසිම නිශ්චිත වැඩපිළිවෙළක් නෑ. හමුදාවෙන් තිස්දහසක් පමණ පලාගොස් තිබෙනවා. ඔවුන්ට විදේශ රැකියාවකටවත් යන්න නොහැකි වී තියෙන්නේ නීත්‍යානුකූලව ඉවත් නොවීම නිසයි. විධිමත් ක්‍රමවේදයක් යටතේ ඉවත්ව යෑමට ක්‍රමයක් හදන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ) – සාමූහික ගිවිසුමක් මත පඩි වැඩි කරගත් බව මහ බැංකුව කියනවා. මහ බැංකුවේ වෘත්තීය සමිති සමග එකඟතාවක් ආවා කිව්වත් එහෙම වෘත්තීය සමිතියක් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නෑ.

රුපියල් 20000ක පඩි වැඩිවීමක් ඉල්ලලා ජනතාව පෙළපාලි ගියා කඳුළු ගෑස් කෑවා. එහෙත් සියයට 60කින් මහ බැංකුව පඩි වැඩිකර ගැනීම ගැන ආණ්ඩුව නිහඬයි. මේ ගැන අපි තීන්දුවක් ගත යුතුයි.

පරාටේ නීතිය තුළ කුඩා ව්‍යාපාරිකයෝ දැඩි ලෙස අසරණ වුණා. නිෂ්පාදන වියදම වැඩි වුණා. අද වනවිට දත්ත අනුව ක්‍ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර 59100ක් තාවකාලිකව වැහිලා තවත් ලක්‍ෂ ගාණක් ව්‍යාපාර වැහිලා. පරාටේ නීතිය තහනම් කිරීමට තීන්දු ගත්තත් බැංකු ගම්වලට ගිහින් ආයතන විකුණනවා.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

සේවක අර්ථසාධක අරමුදල් මුදල් ආයෝජනයෙන් ලැබුණු ලාබයෙන් තවත් රුපියල් බිලියන 21ක් ගිණුම් ඉතිරිව තිබෙනවා. එය ජනතාවට බෙදා දෙන්න කියා ඉල්ලා සිටියත් ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නෑ. අගමැතිගෙනුත් ඉල්ලුවා.

මෙම රුපියල් බිලියන 21ට අමතරව ආරක්‍ෂිත අරමුදලෙන් රුපියල් බිලියන 40ක් පමණ ඉතිරියි. මේවා යොදවා යම් ප්‍රතිශතයක් ප්‍රතිලාභීන්ට ලබා දෙන්න. ලැබී තියෙන මුදලවත් දෙන්නේ නැත්තෙ ඇයි.

2013 වසරේදීත් බිලියන 3.7ක් ආරක්‍ෂක අරමුදලෙන් අරගෙන ප්‍රතිලාභීන්ට දී තියෙනවා. මේ අසීරු අවස්ථාවේදී ආදායම් නොදී රඳවාගෙන සිටීම වැරදියි. මහ බැංකුව තමන්ගේ පිරිසට අර්ථ සාධක අරමුදලින් සියයට 19ක් ගෙවා ගත්තා. ඇයි මේ ප්‍රතිලාභීන්ට දෙවිදියකට සලකන්නේ.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර – ජීවත්වීමේ අසීරුවක් අපි හැමෝටම තියෙනවා. ගොවිතැන් කරන අයට, කුලී වැඩ කරන අයට අමාරුකම් තියෙනවා. එසේ තිබියදී ආර්ථිකය නිවැරදි වෙමින් පවතිනවා. එහි වාසිය හැම භාණ්ඩයකටම ලැබෙනවා. අද වාහන හැර හැම දෙයක්ම ආනයනය කරන්න ඉඩ දී තියෙනවා.

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment