තව සතියක් රට වැසීම සතුටක්: හැබැයි මිනිස්සු මහ පාරෙනේ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම්

167

‘‘තව සතියක් රට වැසීම ගැන සතුටුයි. කොහොම වුණත් මීට වඩා දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි. මොකද නිරෝධායන ඇඳිරිනීතිය දැම්මාට මිනිස්සු හතර අතේ ඇවිදිනවා. දැඩි නීති පනවා රට වැහුවේ නැත්නම් අපි හිතන්නේ නැහැ සාර්ථක ප‍්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා.’’ යැයි රජයේ වෛද නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (27 දා* පැවසීය.

 එසේම අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන් වෙනුවෙන් සිදුකෙරෙන එන්නත්කරණය ද මීට වඩා දැඩි කළ යුතු බව ද හෙතෙම කීය.

 මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

 ‘‘නිරෝධායන ඇඳිරිනීතිය පැනෙව්වාට මිනිස්සු හතර අතේ ඇවිදිනවා. සමහරක් අය මාස්ක් එකවත් හරියට දාගෙන නැහැ. නීති දැඩිව හරියට රට වහන්න ඕනෑ. ඒ වගේම මේ පාරවල්වල ඇවිදින අයට ඇන්ටිජන් කරලා පරීක්‍ෂා කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි. දැන් කොවිඞ්වලින් මියයන ප‍්‍රමාණය එන්න එන්නම වැඩියි. මේ තත්ත්වය පාලනය කරන්න දැඩි සංචරණ නීති පැනවිය යුතුයි. ඒ වගේම කොවිඞ් අවදානම වැඩිපුර තියෙන ප‍්‍රදේශවල ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි වැඩියෙන් කිරීම ඉතා අත්‍යවශ්‍යයි.

 අපි කිව්වනේ හරියට සති 2ක් රට වහන්න කියලා. ඒ අනුව සැප්තැම්බර් 06 වැනිදා දක්වා රජය රට වහන්න තීරණය කළානේ. ඒ වුණාට දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment