බුදු සමය අගය කරන මිත්‍ර සංකල්පය

566

බුදු දහමෙන් ඉගැන්වෙන අගනා ඉගැන්වීම් අතර මිත්‍රත්ව සංකල්පය සඳහා හිමිවන්නේ ප්‍රධාන තැනකි. මෛත්‍රිය, මිතුරුකම යන වචනවලින් විග්‍රහ කරනු ලබන මෙම සංකල්පයේදී බුදුරජාණන් වහන්සේ මෙන්ම බොහෝ පෙර අපරදිග උගතුන්ද නොයෙක් නිර්වචන ඔස්සේ මිත්‍ර සංකල්පය හඳුන්වා දෙයි. එහෙත් බුදුදහම තරම් පැහැදිලි නිරවුල් ඉගැන්වීමක් ලොව නොමැති අතර බොහෝ උගතුන්ද බුදු දහමෙහි මූලික ආභාෂය ලබාගෙන ඇතිබව පෙනී යයි. කෙසේ නමුත් සමාජයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන මිත්‍රත්වය මගින් සමාජ යහපත මෙන්ම අයහපත පිළිබඳව ද පෙන්වා දෙයි.

බෞද්ධ ඉගැන්වීම් අනුව විමසා බැලීමේදී මිත්‍ර සංකල්පය පිළිබඳව පෙන්වා දෙනු ලබන සූත්‍ර ධර්ම ඉතා වැදගත්ය. ඒ අනුව,

  1. සිඟාලෝවාද සූත්‍රය, 2. මෙත්ත සූත්‍රය, 3. මෙත්තානිසංස සූත්‍රය, 4. මිත්තානිසංස සූත්‍රය, 5. මහා පරිනිබ්බාන සූත්‍රය

ආදිය මෙන්ම ධම්ම පදයෙහි සඳහන් කරුණුවලින් ද මෙකී ඉගැන්වීම් පිළිබඳව බොහෝ කරුණු දැක්වේ. මිත්‍රත්වයේ ඇති අගය ලොවට පහදා දුන් අප ගෞතම බුදුහිමියන්ගෙන් විටෙක ආනන්ද හිමියන් විමසනු ලබන්නේ බුදු සසුනේ හරි අඩක් මිත්‍රත්වය මත රඳා නොපවතින්නේද? යන්නයි. එවිට උන්වහන්සේ දේශනා කරනු ලැබුවේ අඩක් නොව මුළු බුදු සසුනම රඳා පවතින්නේ මිත්‍රත්වය අනුව බව පැහැදිලි කිරීම මගින් මෙකී ඉගැන්වීම් කොතරම් වැදගත් වන්නේද යන්න ඉතා මැනවින් පැහැදිලි වේ.

‘සමග්ගා භෝථ මා විවදථ’ සමගිව විවාද නොකොට දිවි ගෙවීම මිත්‍රත්වය පවතින ඕනෑම සමාජයක ප්‍රබල ලක්‍ෂණයක් බව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට ද දේශනා කරනු ලැබුවේ ‘සුඛා සංඝස්ස සාමග්ගි’ ආදී වශයෙන් සමගියෙහි ඇති අගය පිළිබඳවයි. මිත්‍රත්වය සමාජයක යහපත සඳහා හේතු සම්පන්න වන බව පෙන්වාදෙන බුදු සමයේ ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ මිත්‍ර සංකල්පය වර්ගකොට දක්වයි. එනම්.

  1. කල්‍යාණ මිත්‍රත්වය, 2. පාප මිත්‍රත්වය

කල්‍යාණ යනු යහපත් සත්පුරුෂ මිත්‍රයන්ගේ ආශ්‍රයයි. බුදුරදුන් අංගුත්තර නිකායෙහි ව්‍යග්ගපජ්ඡ සූත්‍රයේදී ‘කල්‍යාණ මිත්තතා’ යනුවෙන් යහපත් කල්‍යාණ මිතුරන්ගේ ඇසුර මෙලොව දිවිමග යහපතට හේතුවන බව පෙන්වාදී ඇත. මෙහි මිත්‍රයාගේ වයස නොව ගුණධර්ම කෙරෙහි ප්‍රධාන තැනක් හිමිවන අතර සද්ධා, සීලා, ත්‍යාග, පඤ්ඤා යන ගුණධර්ම ඇත්තේ නම් ඔහු කල්‍යාණ මිත්‍රයෙකි. දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරදුන් ඉතා පැහැදිලිව කල්‍යාණ මිත්‍රයන් සිව් දෙනෙක් පිළිබඳව පෙන්වා දෙයි.

  1. උපකාරක මිත්‍රයා, 2. සමාන සුව දුක්ඛ මිත්‍රයා, 3. අනුකම්පක මිත්‍රයා, 4. අන්තක්‍ඛායී මිත්‍රයා

මෙලෙස මිත්‍රයන් පිළිබඳව හඳුන්වා දුන් උන්වහන්සේ ඔවුන්ගේ ලක්‍ෂණයන්ද වෙන වෙනම හඳුන්වාදී ඇත.

උපකාරක මිත්‍රයන්ගේ ලක්‍ෂණ

  1. ප්‍රමාද වූ මිතුරා ආරක්‍ෂා කරයි, 2. ප්‍රමාද වූ මිතුරාගේ වස්තුව රකියි, 3. අනතුරක් පැමිණි විටදී රැකවරණය සලසයි, 4. අවශ්‍ය වූ විට මිතුරාට ජීවිත පරිත්‍යාග කරයි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයාගේ ලක්‍ෂණ

  1. තම රහස් නොසඟවා කියයි, 2. මිතුරාගේ රහස් රකියි, 3. විපතේදී අත්නොහරී, 4. ගුණ කියන්නවුන් ප්‍රශංසා කරයි.

අනුකම්පක මිත්‍රයාගේ ලක්‍ෂණ, 1. විපතේදී සතුටු නොවෙයි, 2. සැපතේදී සතුටු වෙයි, 3. අගුණ කියන්න වුන් වළක්වයි, 4. මිතුරා කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි.

අන්තක්‍ඛායි මිත්‍රයාගේ ලක්‍ෂණ

  1. පවින් වළක්වයි, 2. යහපතෙහි යොදවයි, 3. නොදන්නා දේ කියා දෙයි, 4. සුගතියට මග පෙන්වා දෙයි

ඉහත ලක්‍ෂණ දෙසට අවධානය යොමු කිරීමේදී යහපත් කල්‍යාණ මිත්‍රයාගේ ඇසුරු බුදු සමය ඉතා අගය කොට ඇති බව අනාවරණය වෙයි. එසේම අංගුත්තර නිකායේ නික නිපාතයේදී යහපත් මිත්‍රයෙකු තුළ තිබිය යුතු ලක්‍ෂණ තුනක් පෙන්වා දෙයි.

  1. මිතුරා වෙනුවෙන් දිය නොහැකි දේ දෙයි, 2. මිතුරා වෙනුවෙන් කළ නොහැකි දේ කරයි, 3. මිතුරා වෙනුවෙන් ඉවසිය නොහැකි දේ ඉවසයි.

එසේම අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මිත්ත සූත්‍රයේදී යහපත් මිත්‍රයෙකු තුළ තිබිය යුතු ලක්‍ෂණ හතක් පිළිබඳව විග්‍රහ කොට තිබේ. ඒවානම්.

  1. දුෂ්කර දෑ කරයි, 2. දුෂ්කර දෑ දෙයි, 3. නොඉවසිය හැකි දේ ඉවසයි, 4. තම රහස් නොසඟවා මිතුරාට කියයි, 5. මිතුරාගේ රහස් ආරක්‍ෂා කරයි, 6. විපතේදී මිතුරා රකියි, 7. ධනය අඩුවීමේදී අවමන් නොකරයි.

මෙලෙසින් යහපත් සත්පුරුෂයා මිත්‍රයන්ගේ ඇසුර අගය කරන බුදුරදුන් හැම විටම දේශනා කරනු ලැබුවේ මුළු මහත් සමාජයටම කල්‍යාණ මිතුරන්ගෙන් යහපත සැලසෙන බවයි.

‘මහණෙනි, කල්‍යාණ මිත්‍රතාව වැනි එක් ධර්මයකදු මම නොදක්මි. කල්‍යාණ මිත්‍රයන් ඇත්තා හට නූපන්නාවූ ද කුසල ධර්මයක් උපදිති. උපන්නා වූ අකුසල ධර්මයන් පිරිහෙති’

බුදු සමය කෙතෙරම් දුරට කල්‍යාණ මිතුරන්ගේ ඇසුර අගය කොට ඇත්තේ ද යන්න ඉහත කරුණු දෙස බැලීමෙන් අවධාරණය වන අතරම එවැනි සත්පුරුෂ මිත්‍රයන් නොමැතිනම් තනිව හුකලාව වාසය කිරීම යහපත උදාකරන බව ධම්ම පදයේ බාල වග්ගයේ පෙන්වා දෙයි.

‘චරංචේ නායිගච්ඡෙය්‍ය-සෙය්‍යං සදිසමත්තනෝ

ඒක චරියං දළහං කයිරා-නත්ථි බාලේ සහායතා’

අප ගෞතම බුදුපියානණ් වහන්සේ මිත්‍ර සංකල්පය පිළිබඳව විග්‍රහය කිරීමේදී පාප මිත්‍රත්වය පිළිබඳ ද ඉතා මැනවින් කරුණු ගෙනහැර දක්වා ඇත. අසත්පුරුෂ අධම පාප මිත්‍රයන් ඇසුරු කිරීම මගින් පුද්ගලයාට මෙන්ම මුළු මහත් සමාජයටම සිදුවනු ලබන්නේ අනර්ථයකි. එවැනි පාප ප්‍රතිරූපකයන් සිව් දෙනෙක් පිළිබඳව දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයේදී ඉතා මැනවින් කරුණු දක්වයි ඔවුහු නම්,

  1. අපාය සහයක මිත්‍රයා, 2. වචීපරම මිත්‍රයා, 3. අනුප්ප්‍රියභානී මිත්‍රයා, 4. අඤ්ඤත්‍ථුහර මිත්‍රයා.

මේ ආකාරයට පාපමිත්‍රයන් හා ඔවුන්ගේ ලක්‍ෂණ පෙන්වා දුන් බුදු සමය තවදුරටත් පැහැදිලි කරනු ලබන්නේ අධම පාප මිත්‍රයන්ගෙන් තොර යහපත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර දිවි මග ආලෝකමත් කිරීම සඳහා හේතු සම්පන්න වන බව ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ මැනවින් පෙන්වාදී ඇත.

‘න භජේ පාපතේ මිත්තේ-න භජේ පුරිසාධමේ

න භජේ මිත්තේ කල්‍යාණෝ-භ ජේථ පුරිසුත්තමේ’

මේ ආකාරයට බොහෝ සූත්‍ර ධර්ම තුළ මිත්‍ර සංකල්පය විග්‍රහ කරනු ලබන බව බුදු සමය එය මෛත්‍රිය හා සම්බන්ධ කොට තිබීම මගින් උන්වහන්සේ තුළ පැවති මහා කරුණා ගුණය මැනවින් ප්‍රකට වෙයි. එසේම මෙම මිත්‍ර වර්ගීකරණය ඔස්සේ යහපත හෝ අයහපත පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීමේ හැකියාවද මනුෂ්‍යයාට පවතී.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත
මහ පිරිවෙනේ ආචාර්ය දර්ශනපති
කනංකේ විජිත නන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment