සුසාල් සහ සචිනි ජාතික චෙස් ශුරයෝ වෙති

322

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක කෙරුණු ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා සමත් වූ අතර එහි කාන්තා ශූරිය බවට පත්වන්නට කොළඹ ගෝන් ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ සමත් වූවාය. ඒ අනුව සුසාල් ද සිලවා විසින් මෙවර ශූරතාව හිමිකර ගත්තේ පිට පිටම දෙවැනි වරටත් වන අතර සචිනි රණසිංහ පස්වැනි වරටත් ශූරිය බවට පත්වීම කැපී පෙනුණි.

 සුසාල් ද සිල්වා 2021 වසරේදී ද ජාතික ශූරයා බවට පත්වූ අතර මෙවර තරගාවලියේදී ඔහු හමුවේ හිටපු ශූරයන් වූ ඉසුරු අලහකෝන්, චන්දන විජේකෝන් සහ රනිදු ලියනගේ පරාජයට පත්වූහ. තරග වට 13කදී ලකුණු 10ක් වාර්තා කරමින් ශූරතාව හිමි කර ගැනීමට සුසාල් සමත් විය.

 පිරිමි අනුශුරතාව දිනා ගැනීමට රනිදු ලියනගේ සමත් වූ අතර ඉසුරු අලහකෝන්ට තෙවැනි ස්ථානය හිමිවිය.

 සචිනි රණසිංහ මීට පෙර 2009, 2011, 2012 සහ 2013 යන වසරවලදී ජාතික චෙස් ශූරිය බවට පත් වන්නට සමත් වූවාය. මෙවර තරගාවලියේදී තරග වට 13කදී ලකුණු 9ක් වාර්තා කරමින් වසර 9කට පසු නැවතත් ජාතික ශූරිය බවට පත්වන්නට සචිනි සමත්වීම කැපී පෙණුනි.

 දිහන්සා ගමගේ කාන්තා අනුශූරිය වශයෙන් තිළිණ ලැබූ අතර ජනනි අබේසිංහ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment