Festival සම්බා

508

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. සම්බා වර්ග රැසක් ලංකාවේ ඇත. කැකුළු සම්බා, රතු සම්බා, රෝස කැකුළු සම්බා, තැම්බූ සහල් සම්බා, කීරි සම්බා, පොලිෂ් සම්බා යනුවෙන් මේවා හඳුන්වනු ලැබේ. ආණ්ඩුව උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් ගෙන්වීමට යන සම්බා විශේෂය කුමක්දැයි අපි නොදනිමු. ඒ නිසා එම සම්බා වර්ගය උත්සව සම්බා හෙවත් festival සම්බා ලෙස තාවකාලිකව හැඳින්වීමට අප තීරණය කර ඇත්තෙමු. සම්බා සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම පාලන මිල රුපියල් 230 ක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිතර පවසයි. එහෙත් පාරිභෝගික අධිකාරියේ ලොක්කා කඩේට ගියද ඒ මිලට සම්බා සහල් ගැනීමට නොහැක. මේ දිනවල කීරි සම්බා හිඟයක් පවතී. රුපියල් 390 ක කළු කඩ මිලට කීරි සම්බා මිලට ගත හැක. රුපියල් 320 ටද කීරි සම්බා විශේෂයක් ඇති අතර ඒවා අනුභව කිරීමේදී අප මේ අනුභව කරන්නේ කීරි සම්බාමය යනුවෙන් අලුතින්ම හිත හදාගත යුතුය. ඒ කීරි සම්බා වර්ගය සාදා ඇත්තේ සාමාන්‍ය සම්බා තවදුරටත් යන්ත්‍රානුසාරයෙන් සිහින් කර සැබෑ කීරි සම්බාවල හැඩය ලබා දීමෙනි. එහෙත් වෙස් වලාගත් කීරි සම්බා සහ සැබෑ කීරි සම්බාවල රසය හඳුනාගැනීමට දිවට පුළුවන. කීරි සම්බා යනු කිසිදු පෝෂ්‍ය ගුණයක් ඇති සහල් වර්ගයක් නොවේ. මෙහි ඇත්තේ දිවට රසයක් ගෙනදීමේ ක්‍රියාවලියක් පමණි. කීරි සම්බාවල කුරුට්ට නැත. ඒ නිසා ශරීරයට අවශ්‍ය කැල්සියම් සහ තෙල් වර්ග එම සහල් ඇටයේ නැත. එය තනි පිටි ගොඩකි. එබැවින් ග්ලුටන් නමැති සතුරු සංඝටකය මේ සහල් තුළ තිබේ. එහෙත් මේ රටේ මධ්‍යම පන්තියේ ජනයාගේ දිව විසින් වැඩිපුරම ඉල්ලනු ලබන්නේ කීරි සම්බාය. රතු සහල්, නාඩු සහල්, සුදු සහල් වැනි සහල් වර්ග අනුභව කරන පිරිසක් ද රටේ වෙසෙති. දකුණු පළාතේ ජනයා කොළඹට ආවත් වැඩිපුරම කන්නේ රතු කැකුළුය. දියවැඩියාවට බිය ඇති අය නාඩු සහල් අනුභව කරති. උඩහ පළාත්වල ජනයා සාම්ප්‍රදායික සහල් වර්ග කෙරෙහි උනන්දුවක් දක්වන නමුත් හැකි සෑම විටම සම්බා කෑමට ප්‍රිය කරති. මේ නිසා සම්බා නමැති සන්නාමය මේ රටේ ජන ජීවිතයේ කොටසක් බවට පත්ව තිබේ. මේ අතර ඉතාම පුදුම සිද්ධියක් ගැන කතා කරමු. එනම් කීරි සම්බාවලට කුමක් සිදුවීද යන්නය. දැන් මාස කිහිපයක සිට කීරි සම්බා සපයන හාල් මෝල්කාරයන් මිස කීරි සම්බා දැකීමට නැත. කීරි සම්බාවලට කුමක් සිදුවීද යන්න පරික්ෂා කිරීමට කොමිසමක් වුව පත්කළ හැකිය.

මෙයට අවුරුදු 150 ට පෙර ලංකාව යනු තනිකරම කෘෂිකාර්මික රටකි. රටේ ජනගහනයෙන් 99% ක් බත් අනුභව කළ අතර 1% ක් පමණ වූ ඉතිරි කොටස නියෝජනය කළ වතු කම්කරු දෙමළ ජනයා තිරිඟු පිටි වලින් සෑදූ රොටි කෑමට පුරුදුව සිටියහ. මේ පුරුද්ද ඇතිකරන ලද්දේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. ලංකාවේ කුඹුරු ගොවිතැන අධෛර්යමත් කිරීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ විය. කුඹුරු ගොවිතැන කෙරෙහි ස්වදේශික ජනයා යොමුවුවහොත් පාරවල් සෑදීම, සුදු ජාතිකයන්ට අවශ්‍ය කරන ඉංග්‍රීසි එළවළු (කැරට්, බීට්, නෝකෝල්, රාබු, ගෝවා, බෝංචි) වගා කිරීම කම්කරු වෘත්තීන්හි යෙදීම යනාදිය ඔවුන් ලවා කරගැනීමට නොහැකි වන බව අධිරාජ්‍යවාදියා කල්පනා කළේය. ස්වදේශිකයන් ලවා තමන්ට අවශ්‍ය වාණිජ්‍ය බෝග වගාකර ඔවුන්ට බත් වෙනුවට තිරිඟු පිටි ගිල්ලවීම අධිරාජ්‍යවාදියාගේ අරමුණ විය. ජාතියක් විනාශ කළ හැකි ක්‍රම රැසක් තිබේ. පෝෂ්‍ය පදාර්ථ වලින් තොර රසවත් ආහාර එම ජාතියට පුරුදු කිරීම එක් ක්‍රමයකි. එම ජාතියට මත්පැන් පුරුදු කිරීම තවත් උපක්‍රමයකි. රටේ ජනතාව ගොවිතැනින් ඈත්කර ලිපිකරු වෘත්තීන් සඳහා යොමුකිරීමෙන්ද සිංහලයන් විනාශ කළ හැකි බව අධිරාජ්‍යවාදීහු තේරුම්ගෙන සිටියහ. ඔවුන් මේ ක්‍රම සියල්ලම එකවර ව්‍යවහාර කිරීම නිසා මේ රටේ මිනිස්සු පසුකාලයේදී දියවැඩියාවෙන් පෙළෙන සිරෝසිස් රෝගයෙන් දුක් විඳින ජනතාවක් බවට පත්වූහ. බත් කන සිංහලයා ශක්තිමත් කැරලිකරුවකු වන බව රොබට් බ්‍රවුන්රිග් ගේ මතය විය. ඒ නිසා සහල් පරිභෝජනයෙන් සහ සහල් නිෂ්පාදනයෙන් ජනතාව දුරස්කර තැබීම යෝග්‍ය බව සියලු සුද්දෝ කල්පනා කළහ. ඔවුන් මුතුරාජවෙලට කෙළවන්නේ මේ යටි අරමුණ නිසාය. අද මුතුරාජවෙල යනු මඩ ගොහොරුවක් පමණි. එහි තවදුරටත් වී වගා කළ නොහැක. මුතුරාජවෙලට බහින එකාට මී උණ වැළඳෙයි. මේ අනුව කුඹුර යනු අන්තරාදායක ස්ථානයකි. අවසන් ඵලයේදී festival සම්බා ඉන්දියාවෙන් ගෙන්වීම හැර වෙනත් මගක් ආණ්ඩුවට නැත.

ලංකාව නැවතත් කෘෂිකාර්මික රාජ්‍යයක් බවට පත්කළ හැකිද? අප දන්නා පරිදි වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල රුපියල් 300 ක් පමණ වේ. බිත්තර වී මිල, රසායනික පොහොර මිල, කෘමිනාශක මිල, ගොවියාගේ ශ්‍රමයට හිමි මිල, බිම් කුලිය හෙවත් ගොයම් ගස පිහිටි භූමියට ගෙවිය යුතු මිල යනාදී වශයෙන් වූ වියදම් තොගයක් වී කිලෝවක් තුළ තිබේ. හාල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝ එකහමාරක් පමණ අවශ්‍ය ය. වී සහල් බවට පත්කිරීම සඳහා ද යන්ත්‍ර ගාස්තු වශයෙන් තවත් මුදලක් සහල්වලට එකතු කළ යුතු වේ. මේ සියල්ල ගණනය කළ කල්හි හාල් කිලෝවක් රුපියල් 475 ටවත් දිය යුතුය. ඒ මිලට හාල් වික්කොත් ඉදිරි පැය 24 තුළ ආණ්ඩුව පෙරළෙනවා ඇත. ඒ නිසා මේ වෙලාවේ අපේ පිහිටට එන්නේ අඩු මිලට ඉන්දියාවෙන් ගෙන්විය හැකි festival සම්බා පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment