කෝටි 13 කප්පම ගැන හරක්කටාගෙන් අද ප්‍රකාශයක් ගැනීමට අවසර

83

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු රුපියල් කෝටි 13 ක කප්පමක් ඉල්ලූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ නමැත්තාගෙන් අද (22 දා) දිනය ඇතුළත ප්‍රකාශයක් ලබාගැනීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට අවසර ලබාදුන්නේය.

එම සැකකරුගෙන් එකී ප්‍රකාශය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට නියෝග කළේය. එම සැකකරු ඇතුළු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සැකකරුවන් කිහිපදෙනකු නිරීක්‍ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේදී සැකකාර නඳුන් චින්තක කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට රහස් ප්‍රකාශයක් ලබාදෙමින් තමාව පිටතට රැගෙන නොගොස් තබා ගැනීමට හා විමර්ශන විධිමත්ව සිදුනොකිරීමට එක්තරා නිලධාරියකු රුපියල් කෝටි 13 ක මුදලක් ඉල්ලූ බවට ප්‍රකාශ කොට තිබිණි. වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට තම අධිකරණයට වාර්තා කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එදිනම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment