අග්බෝගේ ආරක්‍ෂාව සලසන්න මාරාන්තික උපවාසයකට ගොවි නියෝජිතවරු සූදානම් වෙති

226

මේ දිනවල උලගල්ල වැවේ සිටින අග්බෝ ඇතා වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑම හෝ ඇතා සිටින උලගල්ල වැව් රක්ෂිතය ඇතුළු ජනතාව පරිත්‍යාග කරන ඉඩම් කීපයක් යොදාගෙන විදුලි වැටක් හෝ තාවකාලිකව ඉදිකර ඇතා කොටු කර ජනතාවත් අග්බෝ ඇතාත් ආරක්ෂා කිරීමට ඉදිරි දින කීපය ඇතුළත කඩිනම් විසඳුමක් නොගන්නේ නම් මාරාන්තික උපවාසයක් ඇරඹීමට සූදානම් යැයි ඇතුන්ගම ගොවි නියෝජිතවරු කීහ.

පෙරේදා (16) පස්වරුවේ ඇතුන්ගම ග්‍රාමයේ දී ගොවීන් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ අතර ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

ජාතික භික්ෂු පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු සාමාජික, දිවුල්වැව ශ්‍රී උපරතනාරාමාධිපති පූජ්‍ය හොරපේ උපරතන ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ.

‘අග්බෝ ඇතාගේ වම් පාදයට වෙඩි වැදී තුවාල වෙලා රෝගාතුරව වන්නම්මඩුව වැවේ ඉද්දි ඉකුත් ජුනි මස 12 වැනිදා තමයි තිරප්පනේ වනජීවී නිලධාරීන් විසින් අනාවරණය කර ගත්තේ.

එදා පටන් මේ දක්වා තිරප්පනේ ඇතුන්ගම, උලගල්ල, වන්නම්මඩුව, දිවුල්වැව, කරඹේ, මානක්කුලම, පිත්තලකොන්ඩෑරුම වගේ ගම් අවට තමයි අග්බෝ ඇතා ජීවත්වුණේ. මේ කාලය තුළ දී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් දින 100කට ආසන්න කාලයක් ප්‍රතිකාර කළා. ආහාර පාන දුන්නා.’

ක්‍රමක්‍රමයෙන් තුවාල සුව වීමෙන් පස්සේ අග්බෝ ඇතාට රජයෙන් හෝ සංවිධානවලින් හෝ ආහාර ගෙනත් දුන්නේ නෑ. ඌ ආහාර සොයා ගම්වැදීමට පටන් ගත්තා. මේ වනවිට නිවාස 3ක් කඩලා. කෙසෙල්, අඹ, පොල්, භවබෝග විනාශ කරනවා.

මේ ගැන අපි ලිඛිතව දැනුම් දුන්නා. වාචිකව කිව්වා. අග්බෝ වෙනත් තැනකට රැගෙන යන්න කියලා. විවිධ මාධ්‍යයෙන් මේ ගැන අනාවරණය කළා. නමුත් වනජීවී අමාත්‍යාංශය ඇතුළු රජයට වගේ වගක් නෑ. කොටින්ම කියනවා නම් අග්බෝ ඇතාගේ ජීවිත අවදානම ගැන මෙච්චර පෙන්වලා දීලත් ඒ ගැන බලන්නේ නෑ කියන්නේ මේ රජයට අලියෙක්වත් මෙල්ල කර ගැනීමට බැරි ආණ්ඩුවක් කියලා ඔප්පු කරලා තියෙනවා යැයි උන්වහන්සේ බව පැවසූහ.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment