විදෙස්ගත කතගේ ගේ බින්ද ‘සිද්ධමුල්ලේ කළුවා’ ලක්‍ෂ 15 ක භාණ්ඩ ලක්ෂ දෙකකට විකුණලා!

548

විදේශගතව සිටින කාන්තාවකගේ සිද්ධමුල්ල සංඝාරාම පාරේ නිවසකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනා ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සොරාගෙන විවිධ පුද්ගලයන්ට විකිණූ ‘‘සිද්ධමුල්ලේ කළුවා” නමැත්තා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සොරාගත් භාණ්ඩ මිලදී ගත් බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සොරාගත් එම භාණ්ඩ අතර මේස, පුටු, අල්මාරි, ඇඳන්, රෙදි සෝදන යන්ත‍්‍ර, රූපවාහිනී, පිඟන් බඩු, ගෑස් ලිප් හා විදුලි උපකරණ රැුසක් ද වන බව පොලිසිය කියයි.

නිවෙස් හිමි කාන්තාව මීට වසරකට පමණ ඉහතදී කුරුණෑගල පදිංචි නැගණියට සිය නිවස බලා ගැනීමට පවරා විදේශගත වී ඇත.

එයින් වසරකට පමණ පසු ඉකුත් 17 දා සිද්ධමුල්ල නිවසට පැමිණීමේ දී නිවසෙහි පිටුපස දොර කඩා තිබෙන අයුරු දැක පරීක්ෂා කිරීමේදී නිවස තුළ කිසිම ගෘහ භාණ්ඩයක් හෝ විදුලි උපකරණයක් නොමැතිවීම හේතුවෙන් ඒ බව පැමිණිළි කර ඇති බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කැස්බෑව පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් දින තුනක් වැනි කාලයකදී සොරකමට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු කැස්බෑවේ දී අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීමේදී නිවසේ පිටුපස දොර කඩා අවස්ථා හතරකදී භාණ්ඩ සොරා බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප‍්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ 15 ක පමණ දේපල සැකකරු ලක්ෂ දෙකකට ආසන්න අඩු මුදලකට මුදලකට වරින් වර විකුණා තිබූ බවත් විමර්ශන පවත්වන පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු එම මුදල්වලින් හොරෙන් මත්කුඩු පානය කර ඇතැයි ද වැඩිදුරටත් අනාවරණය වී ඇත. සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පො.ප. මාලිංග අභයරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අසේල ප‍්‍රසාද් සෙනෙවිරත්න, පො.කො. වරුන් වන (75769) ජයතුංග, (68490) ඕසාන්ත, (97264) සුදර්ශන යන මහත්වරු පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment