සුරතල් සතකුගේ ඇසුර වයසක අයට දීර්ඝායු ඇති කරන මං පෙතක්
ප්‍රවීණ පශු වෛද්‍ය ජගත් ජයසේකරගේ අදහස් දැක්වීමක්

“ඔය එන පුංචි ළමයාව හොඳින් බලා ගන්න”

පශු වෛද්‍ය ජගත් ජයසේකර පැවසුවේ හුරුබුහුටි බීගල් බලු පැටවකුද තුරුළු කර ගනිමින් තම සායනයට පැමිණීමට මෝටර් රථයෙන් බසිමින් සිටින පිරිමි ළමයකු පෙන්වමිනි.

වයස අවුරුදු අට නවය වයසේ යැයි සිතිය හැකි දරුවාත් සමග ඔහුගේ දෙමව්පියන් ද පැමිණ සිටි අතර, සිය වාරය පැමිණි විට ඔවුහු වෛද්‍යවරයා ඉදිරියේ පෙනී සිටියහ. බලු පැටවා ළඟ තබා ගැනීම, ඌගේ අයිතිය ප්‍රකාශ කිරීම, ඌ ශල්‍යාගාරයේ මේසය මත තබා අල්ලා ගෙන සිටීම ආදී සියලු කටයුතු සිදු කෙරුණේ දරුවා අතිනි.

බීගල් සුනඛ පෝතකයාද තමාගේ ස්වාමියා වන කුඩා දරුවාගේ දෙඅත් විටින් විට ලෙවකමින්ද, ඔහු වෙත අහිංසක බැලුම් හෙලමින්ද කොයි මොහොතේ මේ කරදරය ඉවර වේදෝයි සිතමින් ශල්‍යාගාර මේසය මත නොඉවසිලිමත්ව බලා සිටියේය.

සතාගේ මූලික පරීක්ෂාවන්ගෙන් අනතුරුව මේ පිරිසට අවශ්‍යව තිබුණේ සතාගේ ඉදිරි එන්නත් කටයුතු කර ගන්නා ආකාරය දැන කියා ගැනීමය.

“පුතාම ඩොක්ටර්ගෙන් අහගන්න. ඒක හොඳයිනේ, අපිට දිනේ මතක් කරන්න. අපි ඔයාලව එක්කගෙන එන්නම්”

දරුවාගේ මව පැවසුවාය.

“එහෙනම් ඩොක්ටර් පුතාටම කියන්නකෝ. එයානේ සතාගේ අයිතිකාරයා” වෛද්‍යවරයා ද සතා වෙනුවෙන් පොත් පිංචක් නිකුත් කර ඔහුට එන්නත් විදිය යුතු දින සටහන් කර දරුවාට තම සුරතලා වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ඉතා කාරුණිකව පැහැදිලි කර දුන්නේය. සුරතල් සතෙකු වෙනුවෙන් මේ සා අවධානයක් යොමු කිරීම ගැන ඔහුට ප්‍රශංසා ද කළේය. මේ ආකාරයට තම සුරතල් බලු පැටවාට කෑම බීම දෙන ආකාරය ගැනද සතියකට වරක් නෑවීම පිළිබඳවද මැක්කන්ගෙන් තොරව සතා තබා ගන්නේ කෙසේද යන්න ගැනද, ඔහුට ව්‍යායාම ලබා දිය යුතු ආකාරය ගැනද දරුවා ඉතා හොඳින් අසා දැන ගත්තේය. අනතුරුව මේ දරුවා සායනයේ විකිණීමට තිබූ අලංකාර කුඩා සීනුවක්ද මිලට ගත්තේ තමාගේම සාක්කුවේ තිබූ මුදලක් වියදම් කරමිනි.

“එයා බලු පැටියාට සීනුවක් ගන්ඩ කියල ඩොක්ටර්, අපි පොකට් මනීවලට දෙන සල්ලි ඉතුරු කරගෙන”

අනතුරුව පශු වෛද්‍යවරයා විසින් තමාගෙන් තිළිණයක් වශයෙන් ලබාදුන් ක්‍රීඩා භාණ්ඩයක්ද රැගෙන බලු පැටවා තුරුළු කරගත් දරුවා දෙමව්පියන් සමග පිටත්ව ගියේ ඉමහත් සතුටිනි.

සතුන්ට ආදරය කරන අහිංසක දරුවකු හා සුරතල් සතෙකු පිළිබඳ මෙම හෘදයාංගම සිද්ධිය පසුබිම් කර ගනිමින් වෛද්‍ය ජගත් ජයසේකර සිය කතාව ආරම්භ කරනු ලැබුවේ අද අපට මුහුණ දෙන්නට සිදුවී ඇති සමාජ විද්‍යාත්මක ගැටලු දෙකක් පිළිබඳව විවරණයකිනි.

එකක් වැඩිහිටියන් සිටියදී තනිවුණ දරුවන් ගැනය. අනෙක දරුවන් සිටියදී තනිවුන වැඩිහිටියන් ගැනය.

දරු ගැටලුවේ සංකීර්ණම පැත්තකින් ඔහු කතාව පටන් ගත්තේය.

“ඔය දරුවගේ දෙමව්පියෝ මගේ හොඳ මිත්‍රයෝ. ඉන්නෙ ඔය දරුවා විතරයි. මේ ළමයා බරපතළ විදියට වීඩියෝ ගේම්වලට පුරුදු වෙලා කියල දෙමව්පියෝ හරියට දුක් වුණා. කොටින්ම ළමයා රෑ එක දෙක වෙනකම් ඇහැරගෙන ඉන්න පටන් අරගෙන. ඉතින් මම තමයි කිව්වේ දරුවාගෙන් අහල එයා කැමැති විදියෙ සුරතල් බලු පැටියෙක් අරන් දෙන්න කියලා”

“දැන් මේ දරුවා ඒ සතා වෙනුවෙන් කොයි තරම් ඇපකැප වෙලාද කියනව නම් වීඩියෝ ඩිවයිස් ගන්න එකතු කරපු සල්ලි පවා බලු පැටියා වෙනුවෙන් වියදම් කරන්න පටන් අරගෙන”

මේ අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදුණු වෛද්‍ය ජගත් ජයසේකර පැවසුවේ දරුවකුට කොතරම් සෙල්ලම් බඩු ගෙනත් දෙනු ලැබුවත් තාක්ෂණික උපාංගවලින් සතුටක් ලබා ගන්නට ඉඩ ලබා දෙනු ලැබුවත්, ඒ දරුවාට මානව සමාජය කෙරෙහි කරුණාවක් ඇතිවීමට හොඳම පුහුණුව ලැබෙන්නේ සුරතල් සතෙකු ඇති කරන්නට ඉඩ සැලැස්වීමෙන් බවය. එවැනි ආකාරයට සුරතල් සතෙකු හා බැඳීමත් සමග ළමයා තුළ ඇති නොකිළිටි මානුෂික ගුණාංග තව දුරටත් වර්ධනය වීම නිසා යහපතක් වන්නේ එම දරුවාට පමණක් නොවේ. දරුවාගේ යහපත් චර්යාව ඔහුගේ මව්පියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැමටද සතුටක් ඇති කරවන්නට සමත් වෙයි.

“අද වැඩියෙන්ම හුදෙකලාවට පත්වී සිටින්නේ මධ්‍යම පන්තික සහ ඉහළ මධ්‍යම පන්තික දරුවන්. බොහෝ විට දෙමව්පිය යුවළම රැකියාවට යෑම නිසා ඔවුනට දරුවන් සමග ගත කරන්නට ලැබෙන්නේ ඉතා සුළු කාලයක්. මේ නිසා ඔවුන් වීඩියෝ ක්‍රීඩා සහ ජංගම දුරකථනය හරහා නොයෙකුත් නුසුදුසු ඉසව් වෙත යොමු වීම ස්වාභාවික දෙයක්. නමුත් මේ කාරණා දෙකම දරුවකු අරබයා ඉතා භයානකයි. විශේෂයෙන්ම රෑ නිදිවරාගෙන යෙදෙන වීඩියෝ ක්‍රීඩාවල ඇත්තේ කෲර ලෙස කපා කොටා වෙඩි තබා ලබා ගන්නා ජයග්‍රහණ”

ලංකාව තුළද ගිරවුන්, මයිනන්, ලව් බර්ඩ්ස් ආදී පක්ෂීන්ද විසිතුරු මසුන්ද, ලේනුන් ආදීන්ද සුරතලුන් ලෙස ඇති කරනු ලැබුවත් වැඩි වශයෙන් ඇති කරනු ලබන සුරතලුන් වන්නේ බල්ලන් සහ බළලුන්ය. ඉනුත් සුරතල් සතකු ඇති කිරීම නම් කාරණයේ දී අංක එකට එන්නේ බල්ලාය.

පශු වෛද්‍ය ජගත් ජයසේකර පවසන්නේ දෙමව්පියන් විසින් තමන්ගේ එකම අනාගත බලාපොරොත්තු වශයෙන් ඇති දැඩි කරන දරු පැටවා හොඳ මිනිසකු ලෙස සමාජගත කිරීමට එරෙහිව ගොඩනැඟී ඇති දුෂ්ට බලවේගවලින් මුදවාගත හැකි ඉටු දෙවියා වන්නේ සුරතල් සතෙකු බවය.

ඔහු තව දුරටත් පවසන්නේ මේ වන විට මනෝ වෛද්‍යවරුන් මෙන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ද ළමා මනස වර්ධනය කිරීමෙහි ලා ඉතාමත් සුදුසු ක්‍රමවේදය ලෙස සුරතල් සතෙකු ඇති කිරීම නිර්දේශ කරන බවය. දෙමව්පියන් විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් දරුවාට ලබා දීමෙන් ආතතියෙන් තොර

නීරෝගිමත් මනසක් සහිත දරුවකු මෙන්ම මතු දිනක සමාජයට ආදරය කරන මිනිසෙකුද බිහිවන බව වෛද්‍ය ජගත් ජයසේකරගේ අදහස වී තිබේ.

අද උදාවී ඇත්තේ ළමයා හරහා තමාගේ ඉලක්කය සපුරා ගැනීමට ළමයාගේ දිවිපෙවෙතම දෙමව්පියන් විසින් පාඩම් පොතට යොමු කර තිබෙන යුගයකි. ළමා ලෝකය ළමයාට අහිමි කර ඇති තත්ත්වයකි. නමුත් සමහර දෙමව්පියන්ගෙන් එල්ලවන චෝදනාවක් වන්නේ සුරතල් සතෙකු නිසා පාඩම් වැඩ අතපසු විය හැකි බවය. ඒ වගේ තවත් අදහසක් වන්නේ සුරතල් සතෙකු නිසා ළමුන්ට ලෙඩ රෝග බෝවිය හැකි බවය.

නමුත් පශු වෛද්‍ය ජගත් ජයසේකර මෙම අදහස් දෙකම ප්‍රතික්ෂේප කරයි.

“සුරතල් සතෙකු නිසා සිදුවන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් මිස බාධාවක් නොවෙයි. එසේ වන්නේ සුරතල් සතෙකු ඇතිකිරීම නිසා දරුවාගේ මානසික සෞඛ්‍යයත්, කායික සෞඛ්‍යයත් දියුණු වෙන නිසා. දරුවා අධ්‍යාත්මික වශයෙන් ගුණ යහපත්වීම, සත්වයාගේ කටයුතු හේතුවෙන් වගකීමක් ඉටුකිරීමට හැකියාවක් ලැබීම, ආදී කරුණු මදකට පසකට කර සිතා බැලුවත්, දරුවා වීඩියෝ ගේම් හෝ ජංගම දුරකථනයට ඇබ්බැහිවීමෙන් ඈත් වීමම වුවත් ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට පිටුවහලක් නොවේද යන්න අප සිතා බැලිය යුතුයි”

මේ කතාබහේ දී මතුවුණු දෙවැනි කාරණය වන සුරතල් සතුන් නිසා දරුවන්ට ලෙඩ රෝග බෝවිය හැකිය යන්නද වෛද්‍ය ජගත් ජයසේකර ඒ අයුරින්ම ප්‍රතික්ෂේප කරන්නකි.

“පළමුව කිව යුතු යුත්තේ වන්නේ නිසි පරිදි පිරිසිදුව තබා ගන්නා කිසිම සුරතල් සතෙකුගෙන් දරුවන්ට රෝගයක් නොවැළඳෙන බවයි. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවා පවසන්නේ ඇදුම හෝ වෙනත් ස්වසන රෝගී තත්ත්වයක සිටින දරුවන් හැර අන් අයට පිරිසිදුව තබා ගන්නා සුරතල් සතෙකු නිසා සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති නොවන බවයි”

“වැදගත් කාරණය තමයි සුරතල් සතෙකුගේ ඇසුර නිසා ළමයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා කියන එක. ඉන් ළමයාගේ මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වය යහපත්වීමයි. මේ නිසා ළමයා ක්‍රියාශීලී නිර්මාණාත්මක කෙනෙක් වෙනවා. ළමයා සුරතලා සමග සෙල්ලම් කිරීමෙන්, ඇවිදීමෙන් ආදියෙන් ළමයාට ව්‍යායාමයක් මෙන්ම විනෝදයක් ද ලැබෙනවා. මේ සමගම දරුවාගේ ප්‍රතිශක්තිකරණයටත් උදව්වක් ලැබෙනවා. ඒ වගේම බොහෝ දෙනකු තුළ ඇති ඇතැම් රෝගී තත්ත්වයන් සුවපත්වීමටද තමාගේ සුරතලා හේතුවක් වී තිබෙනවා” වෛද්‍ය ජගත් පෙන්වා දෙයි.

අනාදිමත් කාලයක සිට ළමයාගේ සාහිත්‍යය ගොඩනැඟෙන්නේ මිනිසුන් පිළිබඳ කතා පුවත්වලින් නොවෙයි. ඒවායේ ප්‍රධාන චරිත බවට පත්ව සිටින්නේ විවිධාකාර සතුන්. කපුටා සහ කේජු කෑල්ල, හාවයි නරියයි, අලියයි කටුස්සයි, ඉබ්බයි හාවයි ආදී වශයෙන්. අපි පොඩි කාලේ මිහිර පත්තරයේ සිටි “බූ” නැමැති අලි පැටියා අපට අමතක කළ හැකිද? අදටත් ලොව පුරා ළමයින් මිලියන ගණනකගේ ආදරය වැඩියෙන් දිනාගෙන සිටින්නේ ස්නූපි, ස්නෝවි වැනි සුරතල් සුනඛ චරිත, ඒ වගේම ලෝක ප්‍රකට නිර්මාණ ශිල්පීන්ගේ චරිත ගොඩනැගෙද්දී ඔවුන්ගේ ජීවිතයේ එක්තරා කාලයක සුරතල් සතකුගේ ආභාෂය ලැබුණු බවක් පෙනෙන්නට තිබෙනවා. මුහුණු පොතේ පවා වැඩියෙන්ම “කැමැත්ත පළ වී ඇත්තේ කියවන්නට ලියන්නට කතා කිරීමට බැරි සුනඛ සුරතලුන් වෙනුවෙන්. වර්තමානයේ ලෝකය පුරා පුසිද්ධ වෝල්ට් ඩිස්නිට ඒ ගමන එන්නට මුල් වුණේ මිකී මවුස් නැමැති මීයා බව අප කවුරුත් දන්නා දෙයක්”

“ඒ නිසා කිසිවෙක් ළමයකු සතකු ඇති කිරීම කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතුයි. දරුවකු තම සුරතලා වෙනුවෙන් ඉටුකරන වගකීම සහ අන්‍යොන්‍ය වශයෙන් බෙදාහදා ගන්නා ආදරය සමාජ ප්‍රගමනයට අවශ්‍ය යහපත් නිර්මාණශීලී මිනිසකු බිහි කරන්නට අනිවාර්යයෙන්ම මුල් වෙන බව අප අමතක නොකළ යුතුයි”

මේ ගැන කතා කිරීමේදී ඔහු අපට පෙන්වා දෙන්නේ දෙවන වැදගත් කරුණ වන්නේ අනාගතයේ මෙරට තුළ තනිවන වැඩිහිටි පරම්පරාවේ මානසික හා කායික ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දිය හැකි එක මගක් වන්නේ සුරතල් සතකු – විශේෂයෙන්ම සුනඛ සුරතලෙකු – ඇති කිරීම බවය. ඔහු පවසන්නේ දැනට සිදුකෙරී ඇති ගණන් බැලීම් වලට අනුව අප රටේ වැඩිහිටි ජනගහණය ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් සිටින බවයි. එසේම තමන්ගේ දූ දරුවන් විදෙස්ගතව පදිංචිවීම ආදී කරුණු නිසාද, වෙනත් හේතූන් මතද තනිවන වැඩිහිටි ප්‍රජාවට තම තනි නොතනියට සුරතල් සතෙකු ඇති කිරීමෙන් තමාගේ මානසික සහ කායික සතුට ලබා ගැනීම අද සමාජයේ බොහෝ වැඩිහිටියන් පුරුදුව ඇති බව පෙනෙන්නේ යැයි ඔහු පවසයි.

“මූලික වශයෙන් හුදකලාවීම නිසා ඇතිවන මානසික බිඳ වැටීම හේතුවෙන් ඔවුන් පහසුවෙන්ම කායිකව රෝගී වන්නට පුළුවන්. එසේ තනිකම සාංකාව නිසා වෙනත් සංකීර්ණ මානසික රෝගාබාධයන්ට ගොදුරුවීමටත් ඉඩ තිබෙනවා”

වෛද්‍ය ජගත් තවදුරටත් පවසන්නේ වැඩිහිටි පරම්පරාව මුහුණ දෙන මෙම ප්‍රශ්නය අවම කර ගැන්ම සඳහා හොඳම විසඳුම සුරතල් සතෙකු තම ජීවිතයේ මිතුරෙකු කර ගැනීම බවය. සුරතල් සතෙකු සමග දවස ගෙවීම නිසා බෝ නොවන රෝගාබාධයන්ට ගොදුරුව සිටින අප සමාජයේ වැඩිහිටි පිරිසට මානසික ආතතිය, අධික රුධිර පීඩනය, කොලස්ටරෝල් වැඩි වීම, සීනි ප්‍රතිශතය වැඩිවීම ආදී කාරණාවලින් සුවපත් වීමට සුරතුල් සතකුගේ ඇසුර මගින් මනා පිටුවහලක් ලැබෙන බවය. තමා හැර නොයන බවට සහතික, ඔවුන්ගේ තනි නොතනියට සිටින සුරතල් සතෙකුගෙන් ලැබෙන මානසික තෘප්තිය, රැකවරණය, ඉතා විශ්වාදායක බව කෙතරම්ද යන බව සුරතල් සතෙකු ළඟ තබාගෙන ඇසුර කරන වැඩිහිටි පිරිස හොඳින් අවබෝධකර ගෙන ඇතැයි යන්න ඔහුගේ අත්දැකීමයි.

“සුරතල් සතෙකු නිසා ඔහුගේ සිරුරට ක්‍රමානුකූල ව්‍යායාමයක් ලැබෙනවා. ඒ සුරතලා සමග දිනපතා ඇවිදීමට යෑමෙන්. මෙහි ප්‍රතිලාභය ඔවුන් දෙදෙනාටම ඇති වෙනවා. කොලෙස්ට්‍රෝල් ප්‍රතිශතය අඩුවෙනවා. මෙය වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ සත්‍යයක්. එවැනි සතකු බලු පැටවෙකු නිසා ප්‍රධාන වශයෙන් සිදුවන මෙහෙය වන්නේ ඔහු නිවසේ කදිම ආරක්ෂකයකු වීමයි. නවීන තාක්ෂණික යාන්ත්‍රික උගුල් අක්‍රිය කිරීමේ දක්ෂ සොර සතුරකු වුවත් බල්ලකු සිටින නිවසකට ඇතුල්වන්නේ දෙවරක් සිතා බැලීමෙන් අනතුරුව”

මේ අයුරින් ආරක්ෂාව සැපයීම සහ තනිකම පළවා හැරීම හැරුණු කළ අන්ධ අයට මඟපෙන්වීමට සහ බෙහෙත් බොන වේලාව මතක් කර දීමටද පුහුණු කළ සුනඛයන් අද සිටින බව වෛද්‍ය ජයසේකර පවසයි.

ඒ කරුණු වලට අමතරව මෙකී සත්වයන් හා ඇතිවන බැඳීම නිසා වැඩිහිටි පුද්ගලයන්ට ලැබෙන ලොකුම ප්‍රතිලාභය වන්නේ ඔවුන්ගේ ආයු කාලය වැඩිවීමයි.

දෙවනුව වෛද්‍ය ජයසේකර පෙන්වා දෙන තවත් කාරණා කීපයක් වන්නේ වර්තමාන සමාජය තුළ ඇති සංස්කෘතික හා සමාජීය වෙනස්වීම හේතුවෙන් පුද්ගලයන් තුළ ඇතිවන මානසික ව්‍යායාකූලතාවයටද සුරතල් සතුන් ඇති කිරීමෙන් පිහිටක් වන බවය.

උදාහරණක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ විවාහ වූ නමුත් යම් ආර්ථික ස්ථාවරයන් ගොඩනඟා ගන්නා තෙක් දරුවකු බලාපොරොත්තු නොවන අඹු සැමියන් අද සුරතල් සතකු ඇති කිරීමට පෙළඹී තිබීමය.

“එයින් එක පැත්තකින් ඔවුන්ගේ ජීවිතයේ ඒකාකාරී බව නැති වෙනවා. අනික් පැත්තෙන් දරුවකු ලැබුණු දිනක ඔහු හදාවඩා ගැනීමේ සඳහා මූලික පුහුණුවක් ලැබෙනවා” වෛද්‍ය ජයසේකර පවසයි.

ඉතාමත් දුර්දාන්ත තත්ත්වයේ සිටින එකකු දෙන්නකු හැරුණු කල තමාගේ වාහනයේ හැපුණු සතකු වුවද කාණුවකට තල්ලුකර නොදමා සත්ව සායනයකට රැගෙන එන්නට බොහෝ දෙනා පුරුදුව සිටින බව ඔහු කියයි. වෙනදා මෙන් නොව හන්දියක සිටින අනාථ සුනඛයන්ට කෑම බීම ලබා දෙන්නටත්, කීප දෙනකුගෙන් මුදල් එකතු කරමින් එවන් සතුන්ට බේතක් හේතක් ලබා දෙන්නටත් එකතු වන ත්‍රිරෝද රථ රියැදුරු මහතුන් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

“ මාගේ සායනය පිහිටි පිටකෝට්ටේ ප්‍රදේශයේ දිනපතා රාත්‍රි 01-02 වනතුරු මහමග සිටින සුනඛයන්ට කෑම දෙන පිරිසක් ඉන්නවා. ඒ අය නිසි පිළිවෙළට ඒ සතුන්ට පිඟන්වලට දමා කෑම දෙනවා පමණක් නොව, උන් ආහාර ගැනීමෙන් පසු එම භාජන නිසි පරිදි පිරිසිදු කර පරිසරය ද පිරිසිදු කර ආපසු යනවා. විශේෂම කාරණය වන්නේ මේ අය සත්වයන් වෙනුවෙන් එම පුණ්‍යකර්මය කරනු ලබන්නේ කාගේවත් සහායක් නොලබා අප්‍රසිද්ධියේ වීමයි”

මෙයින් පෙනී යන වැදගත් කාරණය වන්නේ සුනඛයා නැමැති සත්වයා මනුෂ්‍යයා තුළ ඇති කරුණාව දයාව වැනි යහපත් කම් ඉස්මතු කිරීමට මුල් වී ඇති බවය.

ඒ අනුව වෛද්‍ය ජගත් සමාජයට යොමු කරන වැදගත්ම ප්‍රශ්නය මෙයයි. එනම් සුනඛයා නම් සත්වයා ලොව පහළවී නොසිටියා නම් අපගේ ජීවිතවලට කෙතරම් හුදකලාවක් දැනෙනු ඇතිද යන්නය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment