ඉන්දීය ධීවර බෝට්ටුවක සිටි යාපනයේ පරෙවියා තමිල්නාඩු පොලිසියට

836

ඉන්දීය ධීවරයකුගේ බෝට්ටුවක් තුළ ගැට ගසා සිටි සැක සහිත පරෙවියෙකු එම ධීවරයාට හමුවීමෙන් පසුව ධීවරයා එම පරෙවියාව තමිල්නාඩු රාමනාදන්පුරම් පොලිසිය වෙත ඉකුත් 20 දා භාර දී තිබේ.

බෝට්ටුව තුළ නයිලෝන් නූලකින් ගැට ගසා සිටි පරෙවියාගේ එක් කකුලක අක්ෂරවලින් ලියන ලද පණිවුඩයක් තිබූ බවත්, අනෙක් කකුලේ ඉලක්කම් කීපයක් තිබූ බවත් තමිල්නාඩු පොලිසිය වාර්තා කොට ඇති අතර එම අක්ෂර කවර භාෂාවකට අයත්දැයි හඳුනාගත නොහැකි බවද ප්‍රකාශ කොට තිබේ.

රාමනාදන්පුරම් පොලිසිය ප්‍රකාශ කොට ඇත්තේ එම පරෙවියා යාපනය ප්‍රදේශයෙන් පැමිණ ඇති පරෙවියෙකු බවට සැක කරන බවයි.

එහෙත් එම පරෙවියා බෝට්ටුව තුළට පැමිණි ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

ඉන්දීය ධීවරයා ධනුෂ්කොඩි ප්‍රදේශයෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගොස් මුහුදු සැතපුම් 7 ක් පමණ දුර ගිය විට මෙම පරෙවියාව දැක තිබේ.

රාමේෂ්වරම් පුලිදේවන් නමැති එම ධීවරයා විසින් සැක කටයුතු පරෙවියා පොලිසියට භාර දීමෙන් පසුව ප්‍රශ්න කිරීම සඳහා ඔහුවද පොලිසියේ රඳවාගෙන තිබේ. රාමනාදන්පුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment