අඩු ආදායම් ලබන ආගමික ස්ථාන  විදුලි බිල වැඩිකිරීමෙන් අඳුරු වෙනවා – සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය

112

ආගමික ස්ථාන සඳහා 555% කින් විදුලි බිල වැඩි කිරීම බරපතළ ඛේදනීය තත්ත්වයක් බව ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ පවසයි.

අඩු ආදායම් ලබන හෝ කිසිදු ආදායමක් නැති වෙහෙර විහාර, පල්ලි, කෝවිල් මෙම විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් අඳුරු වනු ඇතැයිද ඊයේ (15දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම ව්‍යාපාරය පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේ පැවැසූහ.

6.5 ක ගුණයකින් හෙවත් 555% කින් ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ දැමීමෙන් මෙරට ආර්ථික අර්බුදය හෝ විදුලිබල මණ්ඩල අර්බුදය විසදෙනවා දැයි අප අසනවා. ආගමික ස්ථාන කියන්නේ බුද්ධ ශාසනා සහ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අනුමත වූ ආයතන. මේ ආයතන අතුරින් 67%ක් ඉතා අඩු ආදායම් ලබන ස්ථාන.

පිං කැටවල ආධාරයෙන් විදුලි බිල ගෙවන ආගමික ස්ථාන, මේ නව මිල වැඩිවීම නිසා දවසේ වැඩි වේලාවක් අඳුරේ තැබීමට සිදුවීම සියලු ආගම් අදහන්නන්ට විශාල අපසුතාවක්. මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් එක්ව කළ මෙම විදුලි බිල සංශෝධනයෙන් මාසිකව යුනිට් 180 ට වැඩිය පාවිච්චි කරන අයට ගාස්තු වැඩිකර ඇත්තේ 75% කින්. ඒ කියන්නේ 1.75 ක්. මේක හරියට නැති එකා බිමටම දාලා තියෙන එකා තවදුරටත් උස්සා තැබීමක්. යුනිට් 60ක් විතර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන අහිංසක රට වැසියාට 267%ක් බිල වැඩි කරලා.

විදුලි බිල දැරිය හැකි ප්‍රමාණයකින් වැඩි කිරීම අප වරදක් ලෙස දකින්නේ නැහැ. නමුත් මේ ක්‍රමවේදය ඉතාමත් අසාධාරණයි. වැඩියෙන් විදුලිය පාවිච්චි කරන පිරිස් අතහැර දමා අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ජනතාව මත බර පැටවීම අප අනුමත කරන්නේ නැහැ. විදුලි පාඩුව සිදුව ඇත්තේ මහ පරිමාණ විදුලි භාවිත කරන්නන් නිසා. ඒ නිසා අපි විදුලිබල මණ්ඩලයටත් මහජන උපයෝගිතා කොමිසමටත් යෝජනා කරනවා වැරදි උපාය මාර්ගික ක්‍රම මගින් කරනු ලබන මේ මිල වැඩි කිරීම වහාම ඉවත් කර ගන්න කියලා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment