රාජ්‍ය ඇමැතිලාට සැප වාහන 239ක් ගෙනාවා කියන කතාව බොරු

136

රාජ්‍ය ඇමැතිවරන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වා වරායට ගොඩ බා ඇතැයි කියා පළවූ මාධ්‍ය වාර්තාව මවන ලද ව්‍යාජ ඒවා යැයි වරාය හා නාවුක කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා එලෙස වාහන ගෙන්වා තිබේ දැයි කියා ඊයේ පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

එහිදී මතුවූ සංවාදය මෙසේය.

ශාන්ත බණ්ඩාර මහතා – ඇතැම් මුද්‍රිත මාධ්‍යවලත් ඒ වගේම හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා රැස්වීමකදීත් ප්‍රකාශ කරලා තිබුණා වගේම සමාජ මාධ්‍යවලත් දැඩි ලෙස විවේචනයට ලක් වෙනවා මේ දිනවල රාජ්‍ය ඇමැතිවරුන් සඳහා සැප වාහන 239ක් ගෙන්වනවා කියලා. ඒ ගැන අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත්, මුදල් අමාත්‍යාංශයෙනුත් ඇහුවා. ඒත් සැප වාහන නොවෙයි ෆුට් සයිකලයක් තියා වීල් බැරෝවක්වත් ගෙන්වලා නෑ. ඒත් මේ විදිහට ප්‍රවෘත්ති නිර්මාණය කරලා ප්‍රචාරය කිරීම තුළින් ජනතාව කුපිත වෙනවා. මැතිවරණ දිනා ගන්න. ඒත් මේ වගේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න එපා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා වරාය ඇමැතිතුමාගෙන් මෙහෙම වාහන ගෙන්වලා තිබෙනවා නම් ඒ ගැන පැහැදිලි උත්තරයක් ලබා දෙන්න.

නිමල් සිරිපාල ද සිල්වා මහතා –

මේ පිළිබඳ මම වරාය අධිකාරියෙන් විමසුවා. ඒත් එහෙම වාහන ගෙන්වලා නෑ. මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ මවන ලද පුවතක්. ඒ පිළිබඳව අපි සීඅයිඩී එකටත් පැමිණිලි කරලා තිබෙනවා. ඒ වගේම අපි පුවත්පත්වලටත් ලිපි යවලා තිබෙනවා මේක නිවැරදි කරන්න කියලා. මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ පුවතක්. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට මේ ගැන කියපු අයත් මේ ප්‍රවෘත්ති පළ කළ අයත් ගෙන්වලා පරීක්ෂණයක් කිරීම ඉතාම සුදුසුයි.

ශාන්ත බණ්ඩාර මහතා-

මේක බරපතළ ප්‍රශ්නයක්. ජනතාවට බෙහෙත් ටික ගෙන්වන්න මුදල් නැති වෙලාවක සැප වාහන 239ක්
ගෙන්වනවා කිව්වහම මොන තරම් අපරාධ කතාවක්ද. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඩිලාන් පෙරේරා වගේම සමන්ත විද්‍යාරත්න ඇතුළුව මේවා ප්‍රචාරය කරපු අයවත් ගෙනල්ලා ප්‍රශ්න කරන්න. නැත්නම් පාර්ලිමේන්තුවත් ගිනි තියයි අපේ ගෙවල් ගිනි තිබ්බා වගේ.

අජිත් රාජපක්ෂ මහතා – මේ වගේ ප්‍රවෘත්තියක් මම ගැනත් පසුගිය දවසක පළ වුණා. ඒකෙන් මමත් පුදුම විදිහට අසරණ වුණා. ඒ ගැන මම නීත්‍යනුකූලව කටයුතු කරලා අවසානයේදී පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව වෙත ගියවිට ඒ ප්‍රවෘත්ති පළ කළ ජාතික පුවත්පත්වල කර්තෘවරු මගෙන් සමාව ගත්තා. එත් මට සිදුවූ අපකීර්තියට මොකද වෙන්නේ. මම ඒ අයගෙන් ඇහුවා මේ වගේ අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන අයට විරුද්ධව ක්‍රියා කරන්නේ නැද්ද කියලා. ඒ අය කියන්නේ ඉස්සර නම් ඒ අයව පුවත්පතින් අයින් කරනවා දැන්නම් එහෙම නෑ කියලා. අයින් කළත් ඒ අය වෙනත් ආයතනවලට යනවාලු. නැත්නම් වෙනත් නම්වලින් ලියනවාලු. ඒ අයගේ නමට මාධ්‍ය ආයතන බයයි. ඒ නිසා රටට යුක්ති සහගත මාධ්‍ය කලාවක් හදන්න.

ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා-

ඉතාම විශාල ලෙස මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. අපි එක්දහස් නවසිය අසූ ගණන්වලත් මෙහෙම වෙනවා දැක්කා. මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ප්‍රධානීන් හමුවීම වැදගත් කියලා අපි හිතනවා. අපි දියුණු මාධ්‍ය සදාචාරයක් හදන තෙක් කථානායකතුමා මේ ගැන මැදිහත්වී කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

මේ සදාචාරය අපි පාර්ලිමේන්තුවෙන් හදන්න ඕනෑ. මන්ත්‍රීවරයෙක් අසත්‍ය ප්‍රකාශයක් කළොත් අනෙක් පැත්තෙන් ඒක අසත්‍යයි කියලා පෙන්නුම් කළොත් අර මන්ත්‍රීවරයා ඒක ඉල්ලා අස්කරගන්න ඕනා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නම් එහෙමයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසෙන

advertistmentadvertistment
advertistmentadvertistment