මඟ හැරුණු ප්‍රේමය තුළ ඔබත් තවම විඳවනවාද? එහෙනම් ‘ජානු’ බලන්න

410

මීට ප්‍රථම “චලෝ”, “ඇස්” වැනි ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ තරුණ අධ්‍යක්ෂවරයකු වන හසුන් සමීර අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ ඔහුගේ නවතම ටෙලි වෘතාන්තය “ජානු” ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 7.30 ට විකාශනය වේ. “ජානු” ඉන්ද්‍රජිත් සිල්වා ගේ නිෂ්පාදනයකි.

“ජානු” දහසකුත් ප්‍රාර්ථනාවන් මැද සුන්දර සිහින පොදි බැඳගෙන භද්‍ර යෞවනයේ නෑඹුල් ආදරය මහමෙරක් සේ හදවතේ දරාගෙන අනාගතය කරා පියමන් කළේ ඒ සිය ප්‍රථම ආදරයේ රන් කිරුළු පළඳින්නයි. ප්‍රථම ප්‍රේමය තමා සතු කර ගැනීම කොයි කාගෙත් එකම අරමුණයි. එය තුළින් තම අනාගතය මල් ඵල ගන්වා එක් කැදැල්ලක කූඩු වී කිරි සිනා දකින්නට පෙරුම් පිරූ ජානුගේත් සහස්ගේත් දෙසිතක ආදරය මෝරා වැඩෙද්දී ඔවුන්ගේ ඉරණම එහෙමත් නැතිනම් ඔවුන්ගේ දෛවය ඔවුනට සරදම් කළ ආකාරය “ජානු” නරඹන කොයි කාගේත් නෙත් කඳුළින් තෙමනවා නොඅනුමානය.

ගතින් වෙන් වී සිටියත් සිතින් මගහැරුණු ප්‍රථම ප්‍රේමය තුළ සදාකල් ජීවත් වෙමින් විඳවන හදවත් තුළ ශෝකාලාපය “ජානු” ටෙලිකතාව තුළින් ගම්‍ය වේ. ඔබ ද එවැනි ආදර කතාවක කොටස්කරුවකු විය හැකිය. “මඟ හැරුණු හිත්වලත් තියෙනවා ප්‍රේමයක්” යන තේමාවෙන් ගොඩනැගුණු “ජානු” තුළින් ඔබ අප කාටත් හිතට දැනුන පළමු ආදරයේ වින්දනයත්, එය අහිමි වූ විට දැනුණ වේදනාවත් ජානුගේ ජීවිත කතාව තුළින් සමාජගත කරයි. ජානුට සහ සහස්ට ඔවුන්ගේ පිවිතුරු ආදරය මගහැරෙන්නේ කොතැනදී ද? එයට තුඩු දුන් හේතුව කුමක්ද?යන සිදුවීම් පෙළ පිළිබඳව හරියටම දැනගන්නට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබේ ආලින්දයේ දිග හැරීමට නියමිත “ජානු” ටෙලි කතාව තුළින් දැනගන්නට හැකි බව “ජානු” අධ්‍යක්ෂක හසුන් සමීර පවසනවා.

“ජානු” චන්දන ලියනගේ විසින් සංස්කරණය කළ ඇති අතර ගිහාන් බාලාරච්චි කලා අධ්‍යක්ෂණයෙන්ද, සංගීත් කුරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් ද නිරෝෂි හොරණගේ රේඛිය නිෂ්පාදනයෙන්ද,

එම්.ජී.පද්මකුමාර කැමරාකරණයෙන්ද, සාලිය ජයවර්ධන අංග රචනයෙන් ද, ජේ. ආර්. ජගත් රස්නායක සංගීතයෙන් ද හැඩ කළ “ජානු” හි සචින් ලියනගේ, කවිහාරි හපුතන්ත්‍රී, එස්.අයි. සමරක්කොඩි, සංජීව දිසානායක, හර්ෂණ බෙත්මගේ, කස්තුරි ජයවර්ධන, සුරේෂි ගැලනිගම, වසන්ති රන්වල, නයෝමී තක්ෂිලා ඇතුළු තවත් නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් “ජානු” හැඩ වී ඇත.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment