චැනල්වලට ඕන දේ කරනවනම් නිර්මාණවලට දොර ඇරෙනවා… – රුවන් කුඩලිගම

66

ජාතික රූපවාහිනියේ විකාශය වූ “බොරළු වැස්ස” නිර්මාණය කරමින් ප්‍රේක්ෂයන් අතරට පිවිසි රුවන් කුඩලිගම එකිනෙකට වෙනස් හැඩ තල මත නිර්මාණකරණයේ යෙදෙන ස්වතන්ත්‍ර නාට්‍යය නිර්මාණකරුවෙකි. හිස් අහස යට සහ බට්ටී මීට පෙර විකාශ වූ ඔහුගේ තවත් සාර්ථක ටෙලිනාට්‍ය දෙකකි. කුමන හෝ හේතුවක් මත මේ වනවිට වැඩ අවසන්ව ඇති මන්දෝදරි” සහ දුම්කොළ මහත්තයා නැමැති ඔහුගේ නව නිර්මාණ ද්විත්වය තවමත් විකාශය කරගැනීමට නො හැකිව ඇති පසුබිමක රුවන් දැන් “ රළු ” නැමති වෙනස් නිර්මාණයක් ප්‍රේක්ෂකයා හමුවට ගෙනඒමට සූදානමකින් පසුවෙයි. මේ ඒ සියල්ල ගැන අපේ කතා බහ රුවන් සමග ගලා ගිය අයුරු ය.

චැනල්වලට ඕන දේ කරනවනම් නිර්මාණවලට දොර ඇරෙනවා… - රුවන් කුඩලිගම

කොහොමද අලුත් නිර්මාණය ප්‍රේක්ෂයන් ඉදිරියට ගෙන ඒමේ සූදානම ?

සංස්කරණය කටයුතු ඉවර කරල දැන් විකාශන කාලයක් ලබාගන්න බලා ඉන්නවා. ඒ වෙනුවෙන් කරන මාර්කටින් වැඩ තමයි මේ කාලය තුළ කෙරෙන්නෙ.

ස්වතන්ත්‍ර නිර්මාණකරුවෙක් විදියට මෙවර “රළු” නාට්‍යයේ දී ඔබ කතාකරන්නෙ මොන වගේ මාතෘකාවක් ගැන ද?

මේ පවතින සමාජයේ හරස් කඩක් මේ නිර්මාණයෙන් එළියට එන්නෙ. ලෝකයේ කොහේවත් සම්පූර්ණයෙන් කළු මිනිස්සු හෝ සුදු මිනිස්සු කියල නෑ. ඉන්නෙ සියයට පනහට පනහ සුදු කළු චරිත. මම ඔබත් එක්ක සුදු චරිතයේ සියයට පනහ ඇතුළේ ගනුදෙනු කරන තාක් ඔයාට මාව සුදු චරිතයක්. මටත් ඔබව පේන්නෙ සුදු චරිතයක් විදියට. හැබැයි යම් මොහොතක මම හෝ ඔබ කළු වුණොත් ඊට පස්සෙ අපි ගනු දෙනු කරන්නෙ කළු චරිත ලක්ෂණ එක්ක. එතැන තමයි තරහ සහ වෛරය. ඉතින් කවුරුත් ලෝකයේ හොයනවනෙ” එහෙම කවුරුත් නෑ. ඉතින් මේ සමාජය ඇතුළේ පවතින දේශපාලනය” අපේකම” අපිට අහිමි කරපු දේවල් අවශේෂ වශයෙන් කතා කරන ගමන් මූලිකව ම මේ නාට්‍යය ඇතුළෙ කතා කරන්නෙ මිනිස්සු තුළ පවතින ඒ චරිත ස්වභාවය ගැන.

චැනල්වලට ඕන දේ කරනවනම් නිර්මාණවලට දොර ඇරෙනවා… - රුවන් කුඩලිගම

කතාවක් විදියට සංක්ෂිප්තව කිව්වොත් කොහොමද මේ කාරණාවත් එක්ක කතාව ගෙතිල තියෙන්නෙ ?

ඉතා ම සරල විදියට සරල කතාවකින් එය පටන් ගන්නෙ. බයිසිකල් රේස් එකකට සූදානම් වෙන තරුණයෙක්ගේ බයසිකලයේ චේන් එක ඊට කලින් දවසේ රාත්‍රීයේ දී ඔහුගේ ප්‍රතිවාදියා විසින් ගලවල තියනවා. ඉතින් පසුවදා රේස් එක ඇතුළෙ දි චේන් එක හොඳට ම කැඩිල මේ තරුණයාගේ වෘෂණ කෝෂවලට හානි සිදු වෙනවා. වෛද්‍යවරු නිගමනය කරන්නෙ දරුපල අහිමිවීම හෝ ලිංගිකත්වය නැති වීමේ හැකියාව මේ නිසා වෙන්න පුළුවන් කියල. මේ තැනට ඔහුව පත් කළ ප්‍රතිවාදියා ඊට පෙර ඔහුත් එක්ක එකට රේස් පැදපු මිත්‍රයෙක්. හැබැයි ඒ දෙන්නා අතර යම් කිසි මොහොතකදී තරගයක් ඇතිවෙනවා. එතැනදී එක්කෙනෙක් අනිකා පරයා නැඟී සිටින්න හදනවා. ඒ කියන්නෙ කළු චරිත ලක්ෂණ මතුවෙනවා. මෙච්චර කල් සුදු චරිත ඇතුළෙ මිත්‍රත්වය ගෙනියපු දෙන්නා එතැන ඉඳන් කළු චරිත ඇතුළේ ගනු දෙනු කරන්න ගන්නවා. කතාව ඉදිරියට යන්නෙ එහෙම.

චැනල්වලට ඕන දේ කරනවනම් නිර්මාණවලට දොර ඇරෙනවා… - රුවන් කුඩලිගම

ඔබ ලොකු චෝදනවක් කරල තිබුණා අංකුර නිර්මාණ කරුවන්ට මේ රටේ තාම ඉඩක් නෑ කියල. ඇයි එහෙම චෝදනාවක් කරන්න හේතුව ?

මේ තියන වෙළෙඳ පොළ ආර්ථිකය තුළ දී අංකුර නිර්මාණකරුවන්ට අවස්ථාවක් ලැබෙන්නෙ ඔහු දන්නෙ මොනවද කියන කාරණයත් එක්ක නෙමෙයි. එතැනදී බලපාන්නෙ මම දන්නෙ මොනවද කියන එකට වඩා මම අඳුනන්නෙ කවුද කියන කාරණ ය. එතැනදී අහන්නෙ මම දන්නෙ කාවද කියල. මම ප්‍රසිද්ධ නම් මාව හොඳට අඳුනනවනම් එතැනදී මම මොනවද දන්නෙ කියන එක අදාළ වෙන්නෙ නෑ.

ඔබේ චෝදනවා වෙන්නෙ සරලව ම කොච්චර හොඳ නිර්මාණ කරත් වැඩක් නෑ ඒවා විකාශය කරගන්න පුළුවන් වෙන දැන හැඳුනුම්කම් නැත්නම් කියන එක ?

පැහැදිලිව ම. ඒකනෙ දුම්කොළ මහත්තයා” මන්දෝදරී කියන නිර්මාණ දෙක කරල තවමත් මම ඒක කිහිල්ලෙ ගහන් විකාශනයට ඉඩක් ලැබෙනකන් බලාගෙන ඉන්නෙ. එතැන නිර්මාණවල අඩුපාඩුවක් තියෙනවනම් කමක් නෑ. නිර්මාණය සුදුසු ද කියල බලපු හැම තැනදීම කියන්නෙ වැඩේ හොඳයි කියල. හැබැයි වැඩේ හොඳ වුණාට වැඩේට තැනක් ලැබෙන්නෙ නෑ.

චැනල්වලට ඕන දේ කරනවනම් නිර්මාණවලට දොර ඇරෙනවා… - රුවන් කුඩලිගම

නමුත් චැනල්වලින් නව නිර්මාණකරුවන් එළියට එනවනෙ?

එහෙම එක්කෙනෙක් දෙන්නෙක්ට වුණත් අවස්ථාව ලැබෙන්නෙ නිර්මාණකරුවෙක්ට අවශ්‍ය විදියට එම නිර්මාණය වැඩෙන්න දීල ඒක කොච්චර දුරට ප්‍රේක්ෂකයා අතරට යනවද කියල තීරණය කරන තැන ඉඳල නෙමෙයි. නිර්මාණකරුවට ඉස්සරහින් ඉඳල නාලිකාව තීරණය කරනවා මේකයි කරන්නෙ” මේකෙ අන්තර්ගතය වෙන්නෙ ඕන මේ දේ. මෙන්න මේකයි සමාජගත කරන්න ඕන කියන එක. නිර්මාණ රැල්ලට ගියත් ඒකාකාරි වුණත් හොඳ වුණත් නරක වුණත් ඒ අයට පොඩි ඉඩක් තියනවා. කොටින්ම කිව්වොත් චැනල්වලට අවශ්‍ය දේ සමාජගත කරන්න ලෑස්ති නම් ඔවුන්ට ගේට්ටුව ඇරෙනවා.

චැනල්වලට ඕන දේ කරනවනම් නිර්මාණවලට දොර ඇරෙනවා… - රුවන් කුඩලිගම

ඉතින් විකාශය කාලය අයිතිය සහ වගකීම තියෙන්නෙ ඔවුන්ට නිසා ඔවුන්ට අවශ්‍ය දේ ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙනයෑමේ අයිතිය ඔවුන්ට තියනවනෙ ?

නෑ. ඇත්තට ම නිර්මාණයක් විකාශය වෙන විනාඩි විස්ස කියන්නෙ නිර්මාණයක රචකයාට ර්‍ණ අධ්‍යක්ෂවරයාට සමාජය ආමන්ත්‍රණය කරන්න ලැබෙන කාලයක්. ඒක මේ තවත් වෙළෙඳ ආයතනයකට හෝ තවත් පුද්ගලයෙක්ට අයිති දෙයක් නෙමෙයි. මේක මේ නිර්මාණකරුවන්ටයි තියෙන්නෙ. නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම වෙනව බොහොම අඩුයි. විශේෂයෙන් අංකුර නිර්මාණකරුවන්ට නම් ඒ අවස්ථාව ලබාගැනීම හරිම අසීරුයි. නමුත් මම එහෙමයි කියල නිර්මාණයකරණය නවත්වන්නෙ නෑ. මට දැන් අවස්ථාවක් ලැබිල තියෙනවා ඔස්ටේ්‍රලියාවේ දර්ශන තල මත රූගත කරන සිනමාපටයකට. ඒ සඳහා මුල් පිටපත ලියල අවසන් කරල තියෙන්නෙ. මේ වසරේ දී එය රූගත කරන්නයි සූදානම.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment