වාහන ගෙන්වූවත් කාර් සිහිනය තවදුරයි

3542

නිත්‍ය වාහන ආනයනකරුවන් මිල වැඩි කිරීමක් කරලා නෑ…

ආනයනයට අවසර ලැබුණා කියලා පවතින වාහන මිලේ ලොකු වෙනසක් වෙන්නේ නෑ…

පාවිච්චි කරපු විට්ස් මෝටර් රථයක් ජපානයෙන් රුපියල් ලක්‍ෂ 7 ට ගන්න පුළුවන්. ඒත් ලංකාවට එනකොට බද්ද ලක්‍ෂ 20 යි…

අදාළ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ දැනුම ලබාගන්න මෙරට බලධාරීන් සහ නිලධාරීන් කැමැති නෑ…

පවුලේ සාමාජිකයන් සමඟ තමන්ගේම වාහනයකින් ගමනක් යෑම මෙරට බහුතරයකගේ සිහිනයකි. එහෙත් වාහනවල මිල ගණන් දකින විට, ඇසෙන විට ඒ සිහිනය දකින්නටත් මිනිස්සු අකැමැතිය. අවුරුදු තුනකට ආසන්න කාලයක සිට වාහන ආනයනය තහනම් වී තිබෙන මෙරට වෙළෙඳපොළේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් තිබෙන බව සැබෑය. එහෙයින් වාහනයක් මිලට

ගැනීමට ආශාවෙන් සිටින මිනිසුන්ගේ සිහින බොඳ වී මෙරට ජීවත්වීම සම්බන්ධයෙන් ද කළකිරීමෙන් කතා කරන අය බොහෝ වෙති.

‘‘වාහනයක් ගන්න බැංකු ණයක් අරගෙන අවුරුදු දෙකකට වැඩියි. ඒ දවස්වල වාහන හෙව්වා… හෙව්වා… අපේ බජට් එකට සෙට් වෙන හොඳ වාහනයක් හොයාගන්න බැරි වුණා. දැන් නම් කොහෙත්ම වාහනයක් ගන්න බෑ. ඒ වගේම පවතින මිලට අරගෙන, වාහන මිල අඩු වුණොත් ලොකු පාඩුවක් විඳින්න වෙනවා. ඒ නිසා කවදාහරි වාහන ආනයනයට අවසර දීලා මිල අඩු වෙනකං බලාගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑ…’’ එසේ කීවේ මෙරට විශ්වවිද්‍යාලයක තරුණ කථිකාචාර්යවරියකි. විවිධ තාරාතිරම්වල පුද්ගලයන්ගේ මුවින් එවැනි කතා එමට ඇසිණි. මේ තරුණිය කියපු කතාව ඉස්මතු කළේ වාහනයක් මිලට ගැනීමට අවස්ථාවක් නොමැතිව ඇය දැඩි කම්පනයකින් සිටින බව වැටහුනු බැවිනි. එමෙන්ම මේ වන විට වාහන නඩත්තු වියදම ද දරා ගැනීමට නොහැකි තරමට වැඩි වී ඇති බව සමාජයෙන් ඇසෙන තවත් කතාවකි.

‘‘මම පාවිච්චි කරන වාහනය අරගෙන දැන් අවුරුදු හතරක් වෙනවා. වාහනය නඩත්තු කිරීමට එදා ගිය වියදම අද ඩබල් වෙලා තියෙනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ වාහනයේ ගමන් බිමන් වැඩි වුණා. පොදු ප‍්‍රවාහනය පාවිච්චි කළේම නෑ. ඒ නිසා තෙල් වියදම වැඩි වුණා. එදා පෙට‍්‍රල් ලීටරයක් තිබුණේ එකසිය විසි ගාණට. ඒත් අද වෙනකොට පෙට‍්‍රල් ලීටරය එකසිය හැත්තෑ ගාණක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මාසෙකට තෙල්වලට ගිය මුදල රුපියල් හාරපන්දහකින් වැඩි වෙලා තියෙනවා. වාහනය නිතර පදිනකොට කිලෝමීටර් පන්දහකින් කරන්න ඕන සර්විස් එක මාස දෙකෙන්, තුනෙන් කරන්න වෙලා. අටදාහට, නවදාහට තිබුණු ටයර් දොළොස්දාහයි, දහසයදාහයි. සමහර වේලාවට වැඩි මිලට ගන්නවත් ටයර් නෑ. ඇණ මුරිච්චියේ ඉඳලා සියලූ වාහන අමතර කොටස්වල මිල අසාමාන්‍ය විදිහට වැඩි වෙලා. ඒ වගේම දැන් ඉන්ෂුවරන්ස් සමාගම් කියනවා පවතින මිලට වාහනය වැලියු කරන්න ඕනෑ කියලා. එහෙම වුණොත් ඉන්ෂුවරන්ස් වියදමත් ලොකු මුදලකින් වැඩි වෙනවා. දැන් වාහනයක් පදිනවා කියන්නේ ඔලූවට ලොකු බරක්. ඒත් නොපැදත් බෑ. පොදු ප‍්‍රවාහනය පාවිච්චි කළොත් එක දවසෙන් කරගන්න තියෙන වැඩ ටික කර ගන්න දවස් තුනක් විතර යනවා…’’ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතාව මුණගැසීමට කඳානට ගිය මෝටර් රථයේ රියැදුරු කියපු ඒ කතාවෙන් වාහනයක් නැතිකමත් ලොකු වාසියක් යැයි මට සිතිණි. පවතින ආර්ථිකය තුළ පවුලක් නඩත්තු කරගෙන වාහනයක් නඩත්තු කිරීම විශාල අභියෝගයක් බව ද සැබෑය. එවැනි සිතුවිලිවලින් මනස හොල්මන් කරන අතරේ ඉන්දික සම්පත් මහතාගේ කාර්යාලය අසළ අප රැගෙන ගිය මෝටර් රථය නතර විය. ලෙන්ගතුව අප පිළිගත් ඉන්දික සම්පත් වාහන ආනයනයට තහංචි වැටුණු දා සිට උද්ගත වූ ගැටලූ මෙසේ විස්තර කරන්නට පටන් ගත්තේය.

වාහන ගෙන්වූවත් කාර් සිහිනය තවදුරයි

‘‘2020 අවුරුද්දේ මාර්තු මාසෙ ඉඳලා වාහන ආනයනය නතර වෙලා තියෙනවා. ඒ සමඟ වෙළෙඳපොළේ තිබුණු වාහන ශීඝ‍්‍රයෙන් විකිණුනා. යම් අලූත් වාහන ප‍්‍රමාණයක් අදටත් වෙළෙඳපොළේ තියෙනවා. ඒත් ලියාපදිංචි නොකරපු වාහන තියෙන්නේ සුළු ප‍්‍රමාණයක්. ඒ වගේම වාහන වෙළෙන්දෝ අතර තරගයක් නිර්මාණය වීම තුළ අසාමාන්‍ය ලෙස වාහන මිල වැඩි වුණා. වාහන ආනයනයට අය වැයෙන් අවසර දෙයි කියලා තිබුණු විශ්වාසය මත වාහන මිලේ යම් අඩුවීමක් පෙන්නුම් කළා. ඒත් අය වැයෙන් වාහන ආනයනයට අවසර නොලැබීමත් සමඟ නැවත වාහන මිල විශාල වශයෙන් වැඩි වුණා. ඒ වගේම පෙර පැවති ශීඝ‍්‍ර වෙළෙඳාම දැන් බොහෝ දුරට අඩුවෙලා තියෙනවා. ඉල්ලූම සහ සැපයුම අතර ලොකු ඝට්ටනයක් තියෙනවා. වෙළෙඳපොළේ ණය පොලී අනුපාතයන් නැවතත් වැඩි වෙලා තියෙනවා. මේ හේතු නිසා පවතින වාහන මිලේ ලොකු වැඩිවීමක් නැතිව යම්කිසි කාලයක් ඉදිරියට යයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම රටේ පවතින තත්ත්වයත් සමඟ තව කාලයක් යනකං වාහන ආනයනයට අවසර ලැබෙන එකක් නෑ කියලත් අපි හිතනවා…’’

‘වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි කර තියෙන්නේ වාහන ආනයනකරුවන් කියලා චෝදනාවක් තියෙනවා…? ගලාගෙන යන කතාවට මම පැනයක් යොමු කළෙමි.

‘‘ ඕනෑම ව්‍යාපාරිකයකුගේ ස්වභාවය වැඩි ලාභයක් ලබාගැනීම. ඒත් අපි කැමති නෑ පාරිභෝගිකයන් මත විශාල බරක් පටවන්න. ඒ නිසා නිත්‍ය වාහන ආනයනකරුවන් විසින් මිල වැඩි කිරීමක් කරලා නෑ. වෙළෙඳපොළට අලූතින් ඇවිත් ඉන්න අය තමයි මේ මිල වැඩිකිරීම් සිදු කරලා තියෙන්නේ. වාහන ආනයනයට අවසර දුන්නත් ඒ පුද්ගලයන් එක්ක මේ ව්‍යාපාරය කරගෙන යෑමේදී ලොකු ගැටලූවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා රජය විසින් වාහන මිල සම්බන්ධයෙන් නියාමනයන් ඉදිරිපත් කරන්න ඕනෑ. පරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් ආරක්‍ෂා කිරීම රජයේ වගකීම. ඒත් ඒ කිසිම දෙයක් පවතින වෙළෙඳ අමාත්‍යාංශයෙන් සිදුවන බවක් පේන්න නෑ. ඒ වගේම ඉල්ලූමට සරිලන සැපයුමක් නැති වුණාමත් මිල ඉහළ යනවා. අලූත් වාහන ගෙන්වීම පටන් ගත්ත හැටියේ පවතින මිලේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා…’’

‘‘මෙරට බැංකුවල තියෙන ඩොලර් සංචිත පාවිච්චි නොකර වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් සංගමයක් විදිහට අපි රජයට ඉදිරිපත් කරලා තියෙනවා. පිටරටවල රැකියා කරන පුද්ගලයන්ට එරටින් වාහන මිලට ගෙන ලංකාවට එවීමට අවසර ලබාදීම වැනි විසඳුම් කිහිපයක්ම අපි ඉදිරිපත් කළා. ඒ තුළින් හැංගිච්ච රට සල්ලි විශාල වශයෙන් අපේ රටට ගලාගෙන එනවා. රජයටත් විශාල බදු ආදායමක් එනවා. වාහන ආනයනයට යම් සහනයක් ලැබීම තුළ පවතින වාහන මිල අඩු වෙනවා. ඒ වගේම මෙරට ඉහළ ඉල්ලූමක් පවතින විට්ස්, වැගන්ආර්, 1500ජජ වාහන කාණ්ඩයට අයත් හොන්ඩා ෆිට්, පියස්, ෆිට් සටල්, මිනි කැබ් වෑන් සහ අනෙකුත් පාවිච්චි කරපු වාහන අවම මිලට අපිට ලබාගන්න පුළුවන්. ජපානයත් එක්ක කතා කරලා නියමයන් පනවලා ඒ වාහන ගන්න පුළුවන්කම තියෙනවා. අලූත්ම විට්ස් මෝටර් රථයක් ජපානයේ රුපියල් ලක්‍ෂ 20 ක් විතර වෙනවා. අවුරුදු 5 ක්, 7 ක් පරණ විට්ස් මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ හතකට විතර ගන්න පුළුවන්. විට්ස් මෝටර් රථයක් මෙරටට ආනයනය කරනකොට රුපියල් ලක්‍ෂ 20 ක විතර බදු මුදලක් අය කරනවා. ඒ බදු මුදලත් එකතු කරලා පාරිභෝගිකයන් සතුටු වෙන මුදලකට විට්ස් මෝටර් රථයක් ලබාදෙන්න පුළුවන්. වැගන්ආර් ඇතුළු අනෙකුත් පොඩි වාහනත් පාරිභෝගිකයන්ට දැරිය හැකි මුදලකට දෙන්න පුළුවන්. ඒත් අපේ යෝජනා අදාළ නිලධාරීන් පිළිගත්ත බවක් පේන්නේ නෑ. අදාළ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ දැනුම ලබාගන්න මෙරට බලධාරීන් සහ නිලධාරීන් කැමැති නෑ. අපේ රටේ මෙච්චර ප‍්‍රපාතයකට ඇද වැටීමට ප‍්‍රධාන හේතුව ක්‍ෂේත‍්‍රීය දැනුම ලබානොගැනීම. සෑම ක්‍ෂේත‍්‍රයකම නිලධාරීන් වැඩ කරන්නේ හැමදේම දන්න අය විදිහට. අපිත් රටට ආදරෙයි… අපේ වෙළෙඳාමට ආදරෙයි… අපිට ඕනෑ ඉක්මනින් මේ වෙළෙඳපොළ යථාවත් කරගන්න. රටේ ආර්ථිකයටත්, පාරිභෝගිකයන්ටත් වාසි වෙන විදිහට මේ වෙළෙඳපොළ පවත්වාගෙන යන්න. පැහැදිළි චේතනාවෙන් සද්භාවයෙන් වැඩ කරගෙන යෑමට අපි කැමැති වුණත් වාහන ආනයනයට නිලධාරීන් කැමැති නෑ…’’

‘‘මෙරට නිලධාරීන් නෑ… බෑ… කියාගෙන ඉන්න ක‍්‍රමය දැන්වත් වෙනස් කරන්න ඕනෑ. ආර්ථිකය පණගන්වන්න නම් හැංගිච්ච තැන් අරින්න ඕනෑ. දෙසිය තුනට හිරවෙලා තියෙන ඩොලරය ලිහිල් කරන්න ඕනෑ. මේ වන විට ආනයන වෙළෙඳාම සිද්ධ වෙන්නේ මෙරට බැංකුවල තියෙන ඩොලර් සංචිතවලින් නෙමෙයි. බාහිර තියෙන විදේශ මුදල්වලින්. ඩොලරයේ අගය තවත් ඉහළ ගියොත් බැංකුවලට ලැබෙන ඩොලර් ප‍්‍රමාණය තවත් අඩු වෙනවා. ඒ නිසා යම් අවදානමක් අරගෙන පවතින ඩොලරයේ අගය පහළ දාන්න කටයුතු කරන්න ඕනෑ. එහෙම වුණොත් මෙරට බැංකුවලට ඩොලර් ගලා ඒම වැඩි වෙනවා. එහෙම නොවෙන්න අපේ රට තවත් ප‍්‍රපාතයට වැටෙනවා. ඒ වගේම නිෂ්පාදන ක‍්‍රියාවලියට යෑමේදී ලොරි, ට‍්‍රක් රථ, බර වාහන අත්‍යවශ්‍ය වෙනවා. මේ වෙනකොට ඒ වාහනවල විශාල අඩුවීමක් තියෙනවා. ඒ වගේම මේ වන විට ලෝකයේ වැඩි ඉල්ලූමක් පවතින්නේ ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා. ඒත් අපේ රටේ එම පරිවර්තනයට කිසිදු සූදානමක් නෑ. සංගමයක් විදිහට 2012 වර්ෂයේදී ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සම්බන්ධයෙන් අපි හොඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කළා. ඒත් 2015 තමයි ලීප් කාර් මෙරටට ආනයනය කිරීම ආරම්භ කළේ. ඒ අවුරුද්දේ ලීප් කාර් හාරදහසක් විතර මෙරටට ආනයනය කළා. ඊට පස්සේ ඉලෙක්ටි‍්‍රක් වාහන සඳහා තිබුණු බද්ධ 50% කින් වැඩි කළා. ඒ සමඟ එම වාහන ආනයනය අඩු වුණා. ඒ දේ කරන්න එපා කියලා අපි කිව්වා. ‘අපි කොහොමද රට ගෙනියන්නේ. ඉන්ධනවලින් එන බදු ආදායම නැති වෙනවා..’ කියලා අපි කියපු දේ පිළිගත්තේ නෑ. එදා අපි කියපු දේ කරලා තිබුණා නම් අද පවතින තෙල් අර්බුදයට යම් හෝ විසඳුමක් ලැබෙනවා…’’ ඉන්දික සම්පත්ගේ වටිනා අදහස් දැක්වීම අවසානය.

වාහන ගෙන්වූවත් කාර් සිහිනය තවදුරයි

මෙරට වාහන ආනයන කරන කණ්ඩායම් දෙකකි. අලූත් වාහන ආනයනකරුවෝ සහ පරණ වාහන ආනයනකරුවෝ ය. මෙතෙක් අපි කතා කරමින් සිටියේ පරණ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් සමඟය. එම සංගමයේ සාමාජිකයන් හාරසිය තිස් ගාණක් සිටි බවත් එයින් දෙසිය ගාණක් සජීවීව සිටි බවද ඉන්දික සම්පත් අපට පැවසුවේය. එහෙත් මේ වන විට එම සංගමයේ සජීවීව වැඩ කරන සාමාජිකයන් පනහක්වත් නැති බව ද ඔහු අපට පැවසීය. එමෙන්ම නිත්‍ය ආනයනකරුවෝ සියට හැත්තෑපහක් පමණ වෙනත් ව්‍යාපාරවල නියැළී සිටින බවද, සක‍්‍රීය තත්ත්වයේ තිබෙන වාහන අළෙවිසල්වල බාගෙට, බාගයක් සේවකයන් අඩු කර ඇති බව ද ඔහු අපට පැවසීය. අලූත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ගිහාන් පිලපිටිය මහතා පැවසුවේ ද ඊට සමාන කතාවකි. මේ ගිහාන් පිලපිටිය මහතා කියන කතාවය.

‘‘අපේ සංගමයේ සාමාජිකයන් විස්සක් විතර හිටියා. මේ වන විට ඒ සියලූදෙනාගේ ව්‍යාපාරවල ලොකු කඩා වැටීමක් තියෙනවා. අපේ ආයතනවල වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවාගැනීමට නොහැකිව ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අපේ ආයතන විස්සක වැඩ කරන සේවකයන් දහදාහකගේ රැකියා දැඩි අවදානමකට වැටිලා තියෙනවා. ඒ නිසා මේ සේවකයන්ගේ රැකියා අවස්ථා සුරක්‍ෂිත කරන්න රජය විසින් යම් සහන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ වගේම වාහන අමතර කොටස් ගෙන්වීම සම්බන්ධයෙනුත් දැන් බරපතළ ගැටලූවක් මතු වෙලා තියෙනවා. වාහන අමතර කොටස් ආනයනයේදී එල්.සී. ඕපන් කිරීමට යෑමේදී ලොකු අපහසුතාවන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණොත් රට ඇතුළේ තියෙන වාහන නඩත්තු කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලූවක් මතු වෙනවා. රටේ පවතින අර්බුදකාරී ස්වභාවය තුළ තව අවුරුදු එකහමාරක් විතර යනකං වාහන ආනයනට අවසර ලැබෙන්නෙත් නෑ…’’

‘‘වාහන ආනයනය කිරීම ආරම්භ කිරීම සමඟ පවතින වාහන මිල අඩුවීමක් වෙයිද? මම පැනයක් යොමු කළෙමි.

‘‘වාහන ආනයනය කරන්න අවසර ලබා දුන්නත් බදු අඩු කරන්න බෑ. ඩොලරයේ අගය විශාල වැඩිවීමක් තියෙනවා. මුළු ලෝකයේම සියලූ නිෂ්පාදනවල වියදම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මට හිතෙන විදිහට පවතින වාහන මිලේ ලොකු වෙනසක් සිද්ධ වෙන එකක් නෑ…’’

වාහනවලට යොදන ඉන්ධන ප‍්‍රමිතියෙන් බාල කරලා කියලා සමාජයේ කතාවක් පැතිරෙනවා. ඒ ගැන ඔබගේ අදහස…?

‘‘ඔය සම්බන්ධයෙන් අපිටත් වාර්තා වෙලා තියෙනවා. ඒත් කවුරුවත් තෙල් සාම්පලයක් ජාත්‍යන්තර ලැබ් එකකට යවලා පරීක්‍ෂා කර සනාථ කරගෙන නෑ. ඒ වගේම වචනයෙන් කිව්වට ඒක කරන්න අමාරු වැඩක්. ආනයනය කරන තෙල් ජාත්‍යන්තර ලැබ්වලින් පරීක්‍ෂා කරලා

වගකීමක් සහිතව ගෙන්නේ. පරීක්‍ෂණ කටයුතු වෙනවද? නැද්ද කියලා අපි දන්නේ නෑ…’’

‘‘උද්ගතව තියෙන මේ ගැටලූවලට විසඳුම් සෙවීමට නම් ඒ, ඒ ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ප‍්‍රවීණත්වයක් උසුලන, ජාත්‍යන්තරය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන උපදේශකවරු කණ්ඩායමක් අපේ රටට අවශ්‍යයි. විද්වත් මණ්ඩලයක් අවශ්‍යයි. එහෙම කළොත් මේ ගමන අමාරුවෙන් හරි ඉදිරියට යන්න පුළුවන්. නැති නම් මේ රට ලොකු අමාරුවකට වැටෙනවා…’ වාහන ආනයනකරුවන්ගේ

සංගමයේ හිටපු සභාපති ගිහාන් පිලපිටිය මහතා රජයට අනතුරු ඇඟවීමක් ඉදිරිපත් කළේය. එය රජය විසින් පිළිගැනීම ගැන අපට ඇත්තේ ගැටලූවකි. ඒ පවතින රජය මෙතෙක් පැමිණ ඇත්තේ හිතුවක්කාර ගමනක් නිසාය.

එමෙන්ම මේ රටේ බඩු මිල සහ ජනතාවගේ ආදායම අතර පරතරය, බෙහෙවින්ම වැඩි වෙමින් පවතී. සමාජ විෂමතාවය ද ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරේ. එහෙව් රටක වාහන ආනයනයට අවසර ලබාදීම, පවතින වාහන මිල අඩුවීම සම්බන්ධයෙන් සිහිනයක්වත් නොදැකිය යුතුය. එහෙත් ඒ බහුතරයක් වූ දිළිඳු සහ සාමාන්‍ය ජනතාවට පමණි. ධනවත් මිනිසුන්ට වාහන මිල, වෙනත් භාණ්ඩ මිල වැඩිවීම අල්ප මාත‍්‍රයක හෝ ගැටලූවක් නොවේ. රටේ පවතින සියලූ අර්බුද පොඩි මිනිසුන්ට පමණි. අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment