දියවන්නාවේ කිඹුලා වරාය මුහුදේ පාටිය සහ අපි!

241

මේ දේශපාලන කැළඹීම්, ආන්දෝලනාත්මක සිදුවීම්, වෘත්තිකයන්ගේ උද්ඝෝෂණ හා වෙනත් ප්‍රතිචාර ආදියෙන් උණුසුම් වූ සතියක නිමාවයි. එහෙත් දවසින් දවස උත්සන්න වන, විශේෂයෙන් පොදු ජනතාව දැඩි පීඩාවට පත් කරන ගැටලු දෙස ආණ්ඩුව දක්වන සංවේදී බව නම් බරපතළ ප්‍රශ්නයකි. ආර්ථික හා සමාජ ක්‍ෂේත්‍රවල සමීක්‍ෂණ හා වෙනත් අනාවරණයන් පෙළ ගස්වා බලන විට අපට එළඹිය හැකි නිගමනය වන්නේ මේ සටකපට ප්‍රයෝගකාරී දේශපාලන බල අධිකාරය සමඟ මේ රටට හෙට දවසක් නොමැති බවය. දූෂිත දේශපාලන ක්‍රමයම නඩත්තු කරමින්, ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ව්‍යාජ වටිනාකම් ප්‍රකාශ කරමින්, ආණ්ඩුව මෙන්ම එහි කේන්ද්‍රීය බලය වන පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ක්‍රියා කරන ආකාරය ද කිසිවකුට අනුමත කළ නොහැක. දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රබුද්ධ පුරවැසියන් හා සිවිල් සංවිධාන විසින් කරන ලද සියලු බලපෑම්, උද්ඝෝෂණ ආණ්ඩුව නිර්දය ලෙස යටපත් කරනු ලැබ ඇත. බලය යනු මහජනතාව විසින් දෙනු ලබන භාරකාරත්වයක් නොව පාලකයන්ට රිසි පරිදි ක්‍රියාකිරීමට හැකි හිමිකාරත්වයක් ලෙස මේ පාලකයෝ කල්පනා කරති.

1977 දී ජයවර්ධන පාලනයත් සමඟ මතු වූ සමාජ – ආර්ථික දේශපාලන වෙනස් කිරීම සඳහා ජන වරම් ලබාගත් චන්‍ද්‍රිකා කුමාරතුංග, මහින්ද මෙන්ම මෛත්‍රී හා රනිල් පෙනී සිටි යහපාලනයද අසාර්ථක වෙද්දී යළිත් ගෝඨාභය රට හදන විරුවකු ලෙස අභිෂේක කළ ඉතිහාස කථාව අලුතින් ලිවිය යුතු නැත. ඒ ගෝඨාභයට අඩුම තරමේ තම විධායක පුටුවවත් රැකගැනීමට නොහැකිව රටින් ද පලා යෑමට සිදුවිය. ඒ බරපතළ ආර්ථික දේශපාලන කඩාවැටීම තුළින් බලයට පත් වූ රනිල් වික්‍රමසිංහට කිසිදු ජනවරමක් නොවූවද එය නිත්‍යානුකූල තත්ත්වයක් ලෙස පිළිගැනීමට ජනතාවට ද සිදුවිය. රාජපක්‍ෂ පාලනයට මෙන්ම ඒ කඳවුරට එරෙහි දේශපාලන සටනේ පෙරමුණේ රාල ලෙස ක්‍රියා කළ රනිල් අද ඒ රාජපක්‍ෂවරුන්ගේ ආරක්‍ෂකයා බවට පත්ව ඇතැයි කෙරෙන විවේචන වෝදනා කෙතරම් උත්ප්‍රාසනීයද? විධායක ජනාධිපති ලෙස රනිල් අද ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ද දැඩි විවේචන හා ප්‍රශ්න අපට ද තිබේ. රාජපක්‍ෂවරුන් රැකීමට තමන්ට වුවමනා නැතැයි ජනතාවට පවසන රනිල් අද ඔවුන්ගේ දූෂිත පාලනය රතුපලස යටට දමා 2048 බිහිවන ලංකාවක් ගැන සිහින නිර්මාණය කරමින් සිටියි.

චන්‍ද්‍රිකාගේ සිට ගෝඨාභය තෙක් වූ පාලන යුගවල අපට ආශ්වාදයෙන් සිහිපත් කළ හැකි එකම අත්දැකීම ප්‍රභාකරන්ටත් ඔහුගේ ම්ලේච්ඡ කොටි සංවිධානයටත් අත් වූ ඛේදනීය පරාජය පමණි. එහෙත් උතුරේ ජන ජීවිතවලට සාධනීය ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් ලබා දීමට රාජපක්‍ෂ පාලනය අසමත් විය. ප්‍රභාකරන්ගේ මරබියට බියෙන් උතුරෙන් පලා ගිය වංක දේශපාලන චරිත ද අද ඒ ජනතාව නොමඟ යවමින් රට අවුල් කරන ආකාරය ද රහසක් නොවේ. අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළේ ප්‍රභාකරන් විසින් එදා උගත් හා බුද්ධිමත් දෙමළ දේශපාලකයන් සමූල ඝාතනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුග්ධ දෙමළ දේශපාලන නායකයන් බොහෝ දෙනෙකුට ඉදිරියට ඒමේ අවස්ථාව හිමි වූ බව ය. එහි සත්‍යයක් ඇත. දෙමළ නායකයන් සියල්ලෝම එකම ගොඩකට දැමිය නොහැක. උගත්, දේශපාලන හා සමාජ අවබෝධයක් සහිත ස්වල්ප දෙනෙක් ද අදත් සිටිති. ඒ අතරම දෙමළ ජනතාව නොමඟ යවමින් ප්‍රශ්න අවුල් කරන දෙමළ දේශපාලනයක් ද තිබේ. උතුර – දකුණ එක්වීම නොඉවසන ඔවුන්ට වුවමනා තම දරුවන් හා සමීපතමයන් සුපිරි ජීවිත ගෙවද්දී තමන් දෙමළ ජනතාවගේ විමුක්තිදායකයන් ලෙස රවටමින් බලයේ සිටීමට පමණි.

පසුගියදා උතුරේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල්ගේ එම සංචාරයේ ශේෂ පත්‍රය කියවා බලන විට අපට හැඟෙන්නේ ද එහි අදටත් රජයන ප්‍රභූ දේශපාලන ප්‍රෝඩාවේ යථාර්ථය වෙනස් එකක් බවය. ඇත්ත වශයෙන් ම ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් දකුණේ තිබෙන අර්බුදය අපරිණත බව හා දූෂණය ද උතුරේත් රජයන බව අපට පැහැදිලිව දැක ගත හැකිය. ගෙවී ගිය හැත්තෑපස් වසරක ස්වදේශීය පාලනයට අඩුම තරමින් රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත් සම්මත කර ගත නොහැකි වී තිබේ. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය හා විවෘත ආර්ථික මුවහම්වලට තඩිබෑමට විනා එතනින් ඔබ්බට ගිය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් රටට ලබාදීමට කිසිම පාලනයකට නොහැකි විය. අද ලෝකයේ බහුතර රටවල් විවෘත ආර්ථික ක්‍රමය පිළිගෙන ඇත. උතුරු කොරියාව හා කියුබාව එයට එකඟ නැති රටවල් දෙකකි. අපේ අසල්වැසි ඉන්දියාව, මෙන්ම චීනය හා වියට්නාමය ද අද කෙතරම් ආර්ථික වර්ධනයක් ලබාගෙන තිබේද? රටකට වුවමනා ඒ රටේ සමාජ, සංස්කෘතික අභිලාෂයන් ද පිළිබිඹු කෙරෙන ආර්ථික පිළිවෙතකි. සමහරුන් සඳහන් කරන පරිදි අපට ගැලපෙන ආර්ථික මොඩලයකි. එහෙත් මේ වැඩවසම් ගතානුගතික ප්‍රභූ දේශපාලනය තුළ එය යථාර්ථයක් බවට පත් කර ගත නොහැකිය.

සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන් ද මුහුකුරා ගිය ප්‍රබුද්ධ චරිත අපට අඩුය. කුසලතාවෙන් හා ප්‍රායෝගික දැනුමෙන් යුත් අයට අද මේ දේශපාලනයෙහි ඉඩක් ද නැත. මුදුනේ සිට පහළටම ගලා යන දූෂණය, හොරකම, වංචාව අදටත් අඩුවක් නැත. ආසන්න අතීතය තුළ දූෂණ, වංචා, අල්ලස් අනීතික ඉපයීම් ආදිය සම්බන්ධයෙන් දඬුවම්ලත් එකම දේශපාලනඥයෙක් හෝ නොමැත. එහෙත් මේ දූෂිත චෝදනා ඉහටත් උඩින් පාවෙන රටකි. පාලනයේ පිරිසිදු අවංකබව මෙන්ම ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ අව්‍යාජ කැපවීම් ද රටක දියුණුවට අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ එබඳු රටක් නොවන බව පාසල් දරුවෝ පවා දනිති. රාජපක්‍ෂ පාලනය හා එදා සිටි ඉහළම රාජ්‍ය නිලධාරීන් ගණනාවක් ම වැරදිකරුවන්, වගකිවයුත්තන් බවට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද ඓතිහාසික තීන්දුවකින් ප්‍රකාශ වූයේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවය. දැන් ඒවා දේශපාලන වාද විවාදවලදී වෙනත් සංවාදවලදී ඉදිරිපත් කෙරෙන තර්ක විතර්ක පමණි.

දියවන්නාවේ කිඹුලා වරාය මුහුදේ පාටිය සහ අපි!

මේ සතියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ සුවිශේෂ සිදුවීමක් ද විය. ඒ. ස.ජ.බ. මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමය. ඔහු පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයේ හරය වූයේ අද ජනතාව ඉමහත් පීඩනයකට ලක්ව සිටින බවත්, පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා පිළිබඳවම ඔවුන් තුළ දැඩි කලකිරීමක් තිබෙන බවත් ය. ඒ ජනතා කෝපයට හා ශාපයට ලක්වීමට පියකු වශයෙන් ද තමාට නොහැකි බව විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේය. ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිදු වූ විවේචන ද ඇසුණි. ඇතැම් අනාවරණයන් උත්ප්‍රාසය දනවයි. පොහොට්ටුවේ ප්‍රබලයෙක් පවසා සිටියේ තමන් නිදහසේ ගමන් බිමන් යන බවත්, ජනතාව තුළ එබඳු කලකිරීමක් ඇතැයි නොපෙනෙන බවත් ය. එයට ප්‍රතිචාර දැක්වූ ස.ජ.බ. මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ වී. එයිට් (V- 8) වර්ගයේ සුපිරි රියකින් පාර්ලිමේන්තුවට පැමිණි විජේසිරි අද මරුති වාහනයකින් ගෙදර යද්දී සී නයින්ටියකින් (C – 90) පැමිණි අයෙක් V – 8 එකකින් ගෙදර යන බවය. මෙය දේශපාලනිකව කියා බලද්දී දැනෙන, වැටහෙන බොහෝ දේ තිබෙන බව පමණක් ලියා තබමු.

විජේසිරිගේ ඉල්ලා අස්වීම හා ඔහුගේ ප්‍රකාශ වෙනුවෙන් අපට පෙනී සිටීමට අවශ්‍ය නැත. එහෙත් එයින් අද මෙරටේ තිබෙන දේශපාලනයේ කුණුවීම කෙබඳු දැයි රටටම වටහා ගත හැකිය. දියවන්නාවට පැමිණි කිඹුලාට එහි සිටින 225 දෙනාම කා දමන ලෙසට කළ ඉල්ලීමක් ගැන ද විජේසිරි මන්ත්‍රීවරයා පවසා තිබුණි. කුමක් වුවත් සී නයින්ටියෙන් පැමිණ, වී එයිට් එකෙන් ගෙදර යන සුපිරි බඩු මේ ජරපත් දේශපාලනයේ දැක ගත හැකිය. මෙහිදී අපට සිහිපත් වන්නේ පොහොට්ටුවේ නායක මහින්ද ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගි වූයේ යැයි සංවාදයට ලක්ව තිබෙන ආන්දෝලනාත්මක සාගර සාදය හෙවත් ‘මුහුදේ පාටිය’ යි. විපක්‍ෂයේ සජිත් පාර්ලිමේන්තුවේදීත් (11දා) මේ ගැන දැඩි දෝෂාරෝපණයක් කළේය. රටේ ජනතාව වැට් බදු ඇතුළු අප්‍රමාණ පීඩාවලින් මිරිකෙද්දී ජනතා නියෝජිතයන් මුහුද මැද සාද පැවැත්වීම සාධාරණද, යුක්තිගරුක ද යන ප්‍රශ්නය අපට තිබේ.

මෙය එබඳු සාදයක් නොව නිරීක්‍ෂණ චාරිකාවක් බව වරාය සම්බන්ධයෙන් වගකිවයුතු වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති පවසා තිබේ. ඔහුට අනුව මේ කාර්යයට සහභාගි වූ පොහොට්ටුවේ නායකයා ඇතුළු කණ්ඩායම තම නිල සමීක්‍ෂණය ගැන වාර්තාවක් ද නිකුත් කරනු ඇතැයි යන්න අපගේ අනුමානයකි. ඒ සඳහා මහජන මුදල් වැය වී නැති බවක් ද කියනු ඇසුණි. අනේ කමක් නැත. මේ උතුමෝ දිවා රෑ නැතිව රට ගැන ජනතාව ගැන වෙහෙසෙන්නෝ ය. මුහුදු සුළඟෙත්, රෑ පින්නේත් මෙබඳු දුෂ්කර සමීක්‍ෂණ කරන්නේ මේ රට ගොඩගැනීමට විය නොහැකිද? අනෙක් අතට නිල රාජකාරියකට අතින් මුදල් ගෙවූ රාජ්‍ය ඇමැතිවරයකු අගය කළ යුතු නොවේද? එබඳු කැපවීමක් අගය කිරීමට විපක්‍ෂයට බැරි බව හෙට අනිද්දා තවත් පොහොට්ටුකාරයෙක් කීමට ද බැරි නැත.

දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේදීම වැට් බද්ද ගැන කතා කළ ආණ්ඩු පාර්ශ්වයේ අයෙක් කියා සිටියේ එමගින් බඩු මිලට තවම බලපෑමක් සිදු වී නැති බවය. මෙය සැබෑවක් ද? අද විවිධ සමාජ දේශපාලන වේදිකාවලත් ආර්ථික සංවාදවලත් පුනපුනා ප්‍රකාශ කරන්නේ වැට් නිසා ජන ජීවිත කඩාවැටී තිබෙන බව ය. ආහාර සුරක්‍ෂිතතාව බිඳී ඇති බව ය. ජනතාව දුක් විඳිද්දී, පාලකයන් සුරසැප විඳින බවය. දරුවන්ගේ අධ්‍යාපනය ජනතාවගේ සෞඛ්‍ය සේවය අනතුරක බවය. ගෙවල් දසලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක විදුලිය විසන්ධි කර ඇති බව අදාළ ඇමැතිවරයාම කියා තිබුණි. ගොවියන්, වෘත්තිකයන් අසරණව සහන ඉල්ලා සිටින බවය. එසේ වුවත් මහජන මුදලින් නඩත්තු වන දේශපාලන නඩයක්ම මේ රටේ ආර්ථිකයට බරක් වී තිබෙන බව ය. වැට් බද්ද භාණ්ඩ මිල ඉහළ යෑමට බලපා නැතැයි ලණුවක් දුන් නිලධාරීන්ගේ වාර්තා මත පදනම් ව තීන්දු තීරණ නොගෙන මහපොළවට බසින ලෙස ද අපි මේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමු.

මේ වන විට ජනාධිපති රනිල් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ප්‍රකාශයට පත්ව තිබේ. පසුගියදා පැවති එජාපයේ කළමනාකරණ කමිටුවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලබන සැප්තැම්බරයේදී ජනාධිපතිවරණයත්, 2025 ජනවාරිවල මහ මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණය ද එම වසරේ මාර්තු මාසයේදීත් පැවැත්වෙන බව ය. එ.ජා.ප. කළමනාකරණ කමිටුව, ජනාධිපති රනිල් ජාතික අපේක්‍ෂකයා ලෙස ඒකපාක්‍ෂිකව නම් කර තිබේ. එහෙත් මේ වන තුරුත් පොහොට්ටුව හෝ ඔහුට සහාය දෙන බවක් පවසා නැත. රටේ දේශපාලනය එ.ජා.ප.යේ කීපදෙනෙකු වටහා ගන්නා ආකාරය ඇතැම් විට උත්ප්‍රාසය ද දනවයි. පවතින දේශපාලනය මතුපිටින් බලන හා කියවන අයට අද සිදුවන බොහෝ දේවල් අවබෝධ කර ගත නොහැකිය. එළඹෙන මැතිවරණ දෙස බලාගෙන පක්‍ෂවල පිල්මාරුව හෙවත් පැතිලි හා කොකු ගැසීම් ද සිදුවෙමින් තිබේ. එහෙත් තවමත් මහජන මුදල් නාස්තිකරමින් වැදිබණ කියන බොහෝ දේශපාලන විකටයන්ට තමන් වාඩි වී සිටින ගිනි කන්දේ රශ්නය ද නොදැනේ.

ජනාධිපතිවරණයට අද තිබෙන සූදානම පිළිබඳව හෝ රනිල්ගේ පක්‍ෂයට මෙන්ම ඔහුගේ අනුගාමිකයන්ට ද නිසි වැටහීමක් ඇතැයි නොපෙනේ. ආණ්ඩුවේ බලය බවට පත්ව සිටින පොහොට්ටුව සමඟ හෝ රනිල්වාදීන් බරපතළ සාකච්ඡාවක් කර නැත. පොහොට්ටුවේ නායක මහින්ද ප්‍රකාශ කර ඇත්තේ තම ප්‍රතිපත්ති රනිල්ගේ සැලසුම් සමඟ නොගැලපෙන බව ය. එහි ලේකම් සාගර ද එයම පවසයි. එහෙත් පොහොට්ටුවේම චරිත කීපයක් රනිල්ට සහාය දෙන බව සෘජුවම කියති. ස.ජ.බ.යේ සජිත් හා ජා.ජ.බ.යේ අනුර කුමාර වෙන වෙනම ජනාධිපතිවරණයට තරග කරති. ශ්‍රීලනිපයේ ඇඟවුම ද ඔවුන් වෙනම තරග කරන බව ය. නිදහස ජනතා සභාවේ මහාචාර්ය චරිත හේරත්ට අනුව රනිල්ගේ අයි.එම්.එෆ්. න්‍යාය පත්‍රය අනුව යන වැඩපිළිවෙලට වඩා වෙනස් ප්‍රතිපත්තිමය රාමුවක් සකස් නොකරන්නේ නම් ඔවුහු ස.ජ.බ.යට සහාය නොදෙති. ජා.ජ.බ අනුරලා මේ පවතින දේශපාලන අගතියේ පාර්ශ්ව සමඟ සන්ධානගත නොවෙති. දූෂණ චෝදනා නැති කැබිනට් මණ්ඩලයක් සමඟ විනා හොරුන්, තක්කඩියන් ලෙස රටම හඳුන්වන අය සමඟ මේ පවතින දේශපාලනය වෙනස් කළ නොහැකි බව සැබෑය. හිටපු ඇමැතිවරයකු මෙන්ම කොමියුනිස්ට් පක්‍ෂයේ අනුශාසකවරයකු ද වන ඩීව් ගුණසේකර පසුගිය දිනක පවසා තිබුණේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් නොකර රට ගොඩ ගත නොහැකි බව ය. රජයේ ආදායම් මාර්ගය බදු මත පමණක් පදනම් වීම සාර්ථක නොවන බව ද ඔහු කියා තිබුණි. බදු වංචනිකයන් මෙන්ම අධික පොලියට ලබාගත් ණය ද අද රටටම බරක් වී ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වුවද විපක්‍ෂයේ බලවේග එක් කිරීම, ශක්තිමත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු තෝරා ගැනීම වැනි ගැටලු තවදුරටත් ඉදිරියට යන දේවල් ය. නිදහස් ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම පවසන්නේ ඒ සඳහා ගත් උත්සාහය අසාර්ථක වුවත් එම ප්‍රයත්නය තවම අත්හැර නොමැති බව ය. ස.ජ.බ.යට එක්ව සිටින කීපදෙනා සජිත්ගේ නායකත්වය පිළිගන්නා බව ද දැනට පෙනේ.

මේ දේශපාලන – ආර්ථික ගැටලු විසඳා ගැනීමට අපට අයි.එම්.එෆ්. සහාය පමණක් ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය මෙන්ම බදු මුදලින් කුමක් කරන්නේ ද යන්නත් විවාදයට තුඩු දී තිබේ. සමස්ත බදු පීඩනයම ජනතාව මත පැටවීමට පසුබට නොවූ මේ ආණ්ඩුව බදු සහන දුන් ගජ මිතුරන්ට දෙන සහන ගැන දැඩි චෝදනා තිබේ. ජනතාවගේ බහුතරයක් ජීවන ගැටලු මැද හෙම්බත්ව සිටිද්දී පාලකයන්ට සමීප සුළුතරයක් සුව පහසු ජීවිත ගෙවමින් සිටිති.

ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් රටේ දිශාන්තය එහෙම පිටින්ම වෙනස් කළ හැකිද? අද සන්ධාන ගැන උනන්දුවන්නේ බලය ඉලක්ක කර ගෙන විනා අලුත් වැඩපිළිවෙළක් ජනතාව ඉදිරියේ තබා නොවේ. හැත්තෑව දශකයේ සිට අද දක්වා රටේ දේශපාලන බලය හුවමාරු වූ ආකාරය කවුරුත් දනිති. මැතිවරණවලදී ලබාදුන් පොරොන්දු කඳු මුදුන අහසට ගෑවෙන තරම් ය. එහෙත් ඉටු වූයේ කුමක්ද? විධායක ක්‍රමය හා මැතිවරණ ක්‍රම වෙනස ගැන පැවසූ දේවල් මොනතරම් බොරුද? විධායක ජනාධිපති ක්‍රමය රස බලමින් ජනතාවටත් රටටත් විනාශයක් කළ නායකයෝ ම අදත් බලය ඉල්ලති. ජ.වි.පෙ නායකයන්ගේ ඉනේ පටිය හා විලාසිතා ගැන සිය දේශපාලන වහලුන් පෙරට දමා විහිළු ප්‍රශ්න අහන නායකයන් කළ යුත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය සේවා ප්‍රතිසම්පාදනය ගැන සාධනීය ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කිරීමය. ජ.වි.පෙ. කළ යුත්තේ ද එබඳු අර්ථවත් දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් ජනතාවට ලබා දීමය.

මේ දේශපාලන විවේචන සියල්ලම ද තවමත් එකම තැන කැරකෙමින් තිබේ. දේශපාලනයටම මහලු වී දුබල වී ගිය චරිත මෙන්ම දූෂණ හා භීෂණ චෝදනා ද පට්ට ගසන ලද ඒවා පමණි. සාධාරණ සමාජයක්, නීතියේ සමානත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්‍ෂිතතාවත් වැනි ආකර්ෂණීය තේමා අදත් ඉදිරිපත් වනු පෙනේ. එහෙත් අප ඇස් ඉදිරිපිට සිදුවන්නේ කුමක්ද? මේ දේශපාලනයම විගඩමක් වී ඇති බව නොවේද? සත්තකින් ම සී නයින්ටියෙන් වී එයිට් එකට (C – 90 – V – 8) මාරු වීමේ ඒ දේශපාලනය අවසන් කළ යුතු අවසන් අවස්ථාව ද මෙය විය හැකිය. ජනතාවට මඟ පෙන්වීමට සමත් සුපටිපන්න හා උජුපටිපන්න මහාසංඝරත්නය පසුපසට දමා ඉදිරියට පැමිණ සිටි වී එයිට් පටිපන්න හා නෝට්ටු පටිපන්න වචීපරම භික්‍ෂුන් වහන්සේගෙන් ද පක්‍ෂවලට විනා රටට වැඩක් නැති බව ද ඉහත කී ගරුතර මහා සංඝරත්නයේ අවසරය පතමින් සඳහන් කළ යුතුය. දේශප්‍රේමී ඇමෙරිකානු පුරවැසියන්ගෙන් මෙන්ම ලංකාව මිදුල කරගෙන එංගලන්තයේ දිවිගෙවන විශේෂඥයන්ගෙන් ද මේ රටට යහපතක් සිදු නොවන බව ද ඒ සමගම සඳහන් කළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් බිහි වූ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල විද්වතුන් යන ඔබ සියල්ලෝම ද මේ පීඩිත ජනතාවගේ කඳුළට, සුසුමට, අඳෝනාවට වඩ වඩාත් සංවේදී විය යුතු වෙති. 2024 එම දීර්ඝ චාරිකාවේ පළමු පියවර කර ගනිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment