පොලිස්පති පත්කිරීම ලැජ්ජයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

1486

නිසි ක්‍රමවේදයට පටහැනිව පාලකයන් විසින් ලබාදුන් සේවා දිගු මගින් දිගින් දිගටම පොලිස්පති ධුරයේ රැඳී සිටීමට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කිරීම නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධී මෙන්ම ලැජ්ජා, බිය නොමැති ක්‍රියාවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පෙන්වා දෙයි.

එසේම ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පොලිස්පති ධුරය හා සම මට්ටමේ ධුරයක් වන නීතිපති ධුරයේ කටයුතු කළ සී. ආර්. ද සිල්වා මහතාට මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ නිසි ක්‍රමවේදයෙන් තොරව ලබාදුන් සේවා දිගුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වූ අවස්ථාවේදී එය නීති විරෝධී බවට තීන්දුවක් ලැබී ඇති බව වත්මන් පාලකයන් අමතක කර ඇති බවය. අද (10දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්වීමට නිසි සුදුසුකම් සපුරා තිබෙන තමන්ට පහළින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඇති අවස්ථාවන් අහුරමින් අනීතිකව කටයුතු කරන වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනීමට හැකි බවට ද නිමල් පියතිස්ස මහතා අනතුරු ඇඟවීය. එසේ වුවහොත් අසහනයට පත්වූ පොලිස් නිලධාරීන් තම කූට අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට අන්තවාදී, ජාතිවාදී කල්ලි කණ්ඩායම්, ඩොලර් මගින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, පාතාල කල්ලිවලට පහසු ඉඩකඩක් නිර්මාණය වන බවද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment