බාල ප්‍රතිදේහ එන්නත් නිසා මියගිය හා අසාත්මිකතාවලට ලක්වූ අය ගැන උසාවිය යළි වාර්තාවක් ඉල්ලයි

62

කෙහෙළියට ඊයේත් ඇප නෑ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් භාවිතයෙන් ඇතිවූ අසාත්මිකතා නිසා කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලැබූ රෝගීන් තිදෙනකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සවිස්තර වාර්තා කැඳවන ලෙස, අල්ලසට හා දූෂණයට එරෙහි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඊයේ (08 දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

එලෙස මියගොස් ඇතැයි කියන තිදෙනාගේ නම් ද අධිකරණයට ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා එම ඉල්ලීම කළේය.

එකී එන්නත් භාවිතයෙන් මියගිය හෝ බරපතළ අසාත්මිකතාවලට ගොදුරු වී ඇති රෝගීන් පිළිබඳව ලබන මස 30 දාට පෙර සවිස්තර වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ නැවත වරක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 7 දෙනකු ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම නඩුවේ 10 වන සැකකාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ 11 වන සැකකාර වෛද්‍ය තුසිත සුදර්ශන් මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිල්ල මෙහෙයවූ අතර, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment