ගුවන් හමුදාව තවත් තාක්‍ෂණිකව ශක්තිමත් කරනවා -නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ

153

ආරක්‍ෂක හමුදාවක් ලෙසින් මව්බිම රැකගන්නා අතරේ ශ්‍රී ලාංකීය ගුවන් තලය සුරක්‍ෂිත කලාපයක් කරමින් ගුවන් හමුදාව තුළින් රටේ ආර්ථිකයට ද උපරිම ශක්තියක් ගෙන දීම තමන්ගේ ඉලක්කය බව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඉකුත් 30 වැනිදා නිල වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුවන් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් සහ ගම්පහ බණ්ඩාරනායක විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සම්පූරණ කළ අතර ආනන්ද විද්‍යාලයෙන් ගුවන් හමුදාපති ධුරයට පත්වූ පළමු වැන්නා ද වෙයි.

1988 වසරේ දී රත්මලාන ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අංක 06 බඳවා ගැනීමේ කණ්ඩායමේ කැඩෙට් නිලධාරියකු ලෙස එක්වූ ඒ මහතා මූලික සටන් පුහුණුව එහිදී ලැබ 1990 වසරේ ඔක්තෝබර් මස 05 වැනිදා උපාධිය ලබා ගනිමින් ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස කටයුතු කළේය.

එතැන් සිට එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ප්‍රහාරක යානා නියමුවකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් කළ එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතැම් අවස්ථාවල ප්‍රවාහන යානා නියමුවකු ලෙසින් ද රට වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් තාක්‍ෂණිකව ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යෑම තම බලාපොරොත්තුව බව ද මෙහිදී කී ගුවන් හමුදාපතිවරයා ඉදිරියේ දී ගුවන් හමුදාව සතු ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා මෙරටදීම අලුත්වැඩියා කරමින් විදේශයන්ට ඇදී යන අති විශාල මුදල රටට ඉතිරිකර දීමට පියවර ගන්නේ යැයි ද පැවසීය.

තමන්ට ගුවන් හමුදාපති ධුරය වැනි භාරධුර කාර්යයක වගකීම ලබා දීම සම්බන්ධයෙන් සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්‍ෂාව භාර සාගල රත්නායක සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන්ටත් තම කෘතවේදීත්වය පුදකරන බව ද එහිදී ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment