හිටපු කථානායක චමල්ගේ ඥාතියකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම

4403

පොලිසියේ 4 කට එරෙහි නඩුවේ විමර්ශන ගොනුව නීතිපතිට භාරදීමට නියෝග

හෙරොයින් ග්‍රෑම් 282 ක් සන්තකයේ තබා ගත්තේ යැයි අසත්‍ය චෝදනා නගා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ඥාතියකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඇතුළු චෝදනා යටතේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළ විමර්ශන ගොනුව නීතිපතිවරයා භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

2020.05.24 වැනිදා රාත්‍රී නැදිමාලේ ප්‍රසිද්ධ විහාරස්ථානයකදී නුවන්ත විජේවර්ධන නමැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස දූෂණ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක විජිත ඒකනායක ඇතුළු සිවුදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී සී 9රැ2021/සී. එම්. දරන එම ගොනුවේ ලේඛන ඕනෑම අවස්ථාවකදී ඉවත් කරගත හැකි ලේඛන බැවින් ආරක්ෂිතව තබා ගත යුතු බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය. ගල්කිස්ස පොලිසිය භාරයේ තිබියදී තොරතුරු සටහන් පොත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට පැවැසීය. එවැනි සටහන් පොතක් රහස් පොලිසිය විසින් සිය භාරයට ගත්තේ නම් එහි මුල් පිටපත් නඩු ලේඛනයක් ලෙස ලකුණු කර එය භාරයට ගත් නිලධාරියා මගින් අධිකරණය හමුවේ සලකුණු කළ යුතු නමුත්, එකී නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකර එම සටහන්වල ඇති තොරතුරු වෙනත් සාක්ෂිකරුවකු මගින් සාක්ෂි ලෙස මෙහෙයවීම නීතිවිරෝධී බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට පැවැසීය.

එම විමර්ශන ගොනුවේ පිටපත් කොපමණ ප්‍රමාණයක් ඇති දැයි ගණන් කර සටහන් තබා ගැනීමෙන් අනතුරුව ඒවා නීතිපතිවරයා වෙත භාරදෙන ලෙසට ද විනිසුරුවරයා මහාධිකරණයේ ප්‍රධාන ලේඛකාධිකාරිවරියට වැඩිදුරටත් නියෝග කළේය.

අනුෂා මල්ලවආරච්චි නමැත්තිය හා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබූ බවත් පසුව වැඩිදුර විමර්ශන සමූහ මිනීමැරීම් ඒකකයට භාරදී ඇති බවත් උප පොලිස් පරීක්ෂක පියල් ගුරුසිංහ මහතා රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැවැසීය.

විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා වනුයේ, අසත්‍ය සටහන් යොදා බොරු සාක්ෂි නිර්මාණය කිරීම වන බැවින් උගත් ජනාධිපති නීතිඥවරයාගේ එම විරෝධතාව ප්‍රතික්‍ෂේප කරන ලෙසට ද රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර, තුසිත රණසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

වැඩිදුර විභාගය ලබන අප්‍රේල් 5 වැනිදා දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment