තරුණ පරපුර මුළුමනින් ප්‍රතික්‍ෂේප කළ දේශපාලනය මේ භූමියෙන් අතුගා දැමිය යුතුයි – ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක මාතරදී කියයි

80

ඉදිරියේ එන දේශපාලන පරිවර්තනය වෙනුවෙන් මේ රටේ වැඩිම වගකීම තියෙන ඒ සඳහා වැඩිම වුවමනාව තයෙන අපේක්ෂා පොදි බැඳන් ඉන්න තරුණ පරම්පරාව ඒකරාශී කරන වැඩේ අද අපි මාතරින් පටන් ගත්තා. අපි හිතනව මේක ලංකාවේ දැවැන්තම තරුණ පිබිදීම බවට පත්වනු නොවනු මානයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. දිසානායක මහතා ඒ අදහස් ප්‍රකාශ කළේ මාතරදී පැවැති රුස්වීම අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

එළඹෙන නව දේශපාලන පරිවර්තනය වෙනුවෙන් තරුණ පරම්පරාව ඒකරාශී කිරීම වෙනුවෙන් මාතරින් පටන් ගත් කාර්යය ලංකාවේ දැවැන්තම තරුණ පිබිදීම බවට පත්වන බව නොඅනුමානයි. අපේ රටේ තරුණ පරම්පාරව කල්පනා කළේ දේශපාලනය තමන්ගේ වැඩක් නොවෙයි. ඒක අම්මා තාත්තාට, පවුල් කිහිපයකට අයිති වැඩක් ලෙසයි. තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන සිහින මවමින්, සැලසුම් හදමින් සිටියා. අද ඔවුන් මවන ලද සිහින ඔවුන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා.

මේ රට ඉතා සුරක්ෂිත රටක් බවට පරිවර්තනය කළ යුතුයි. මේ රටේ තරුණ පරම්පරාවට තමන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පිරි තරුණ පරම්පරාවක් බවට පත් කළ යුතුයි. අපගේ ඇස් ඉදිරිපිට දියත් වෙමින් තිබෙන ඛේදවාචකය, අද අපට බල කොට තිබෙනවා මේක වෙනස් කිරීමට පෙරමුණ ගන්න. කොතනින්ද අපි මෙය වෙනස් කරන්නේ. මේක වෙනස් කළ හැකි වන්නේ, ගමන් කරමින් තිබෙන දේශපාලන මාවත නව දිශාවකට පරිවර්තනය කිරීමෙන් පමණයි. අම්මා, තාත්තගේ දේශපාලනය රටටත්, ජනතාවටත්, ඔබටත් උරුමකොට තිබෙන මේ ඛේදවාචකයෙන් මේ රට නිදහස් කර ගැනීම තමයි කළ යුතු පළමු අරගලය. එබඳු දේශපාලන පරිවර්තනයක් අපේ රටට අවශ්‍යයි. මේ රටේ දේශපාලනය ලියවිලා තිබෙන්නේ කාටද? මාතර විජේසේකර නම් එයාගේ පුතාට. සිරිසේන නම් එයාගේ පුතා මනෝජ් සිරිසේනට. මහින්ද රාජපක්ෂගේ ඥාති පුත්‍රයන්ට. පවුල් අතලොස්සක් අතේ මේ දේශපාලනය කැරකෙමින් තිබෙනවා. ඒ අතළොස්ස පහළ පංතියේ පෑගෙන තරුණයන්ගේ ගැලවුම්කරුවන් බවට නාමකරණය කරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාට පුතෙක් ඉපදුනොත් ඔවුන් හිතනවා ඒ දරුවාගේ නළලේ ජනාධිපතිකම කොටා තිබෙනවා කියා. ප්‍රේමදාසගේ පුතා, මහින්ද රාජපක්ෂගේ පුතා, විජේසේකරගේ පුතා එයාලා හිතාගෙන ඉන්නවා ඉපදෙන කොටම ජනාධිපතිකම, ඇමැතිකම මහබඹා විසින් කොටලා තිබෙනවා කියලා. අපේ රටේ දේශපාලනය පවුල් කිහිපයක් අත ජාතික වශයෙනුත්, ප්‍රාදේශීය වශයෙනුත් බෙදී තිබෙනවා. අපේ හැකියාවක් තිබෙන, වුවමනාවක් තිබෙන තරුණ පරම්පරාවට දේශපාලනයේ දොරටු වසාදමා තිබෙනවා.

මේ සිටින කිසිම කෙනෙක් දේශපාලනය නළලේ කොටාගෙන ආව අය නොවෙයි. මහබඹා නළලේ කොටා දේශපාලන වගකීම් බාරගත් අය නොවෙයි. මේ දේශපාලනයට අපි අවතීර්ණ වන්නේ කුමක් නිසාද? අපේ ඇස් ඉදිරිපිට අයුක්තිසහගත, අසාධාරණ සමාජයක් තිබෙනවා. අපේ තරුණ පරම්පරාවන්ගේ ජීවිත විනාශ වෙමින් තිබෙනවා. අපි හැමෝම මේ දේශපාලනය තෝරා ගත්තේ මේ සමාජ පරිවර්තනය සඳහා මැදිහත් වෙන්න, නායකත්වය දෙන්න, එකතු කරන්න. මේක වෙනස් කිරීමේ අරමුණක් තිබෙනවා. ඒ සඳහා ධෛර්ය සම්පන්න වුවමනාවක් තිබෙනවා. මේ රටට වුවමනා කරන්නේ කුමන දේශපාලනයක්ද?

මම මේ දේශපාලනයට අවතීර්ණ වුණේ පාසල් සමයේදීයි. මා ඇතුළු බොහෝ පිරිසකගේ මුළු තාරුණ්‍යයම මේ නව පරිවර්තනය සඳහා වෙහෙස වුණා; පොර බැදුවා. විවිධ පරාජයන් හමුවේ, ඇස් ඉදිරිපිට මරණය සිදුවෙමින් තිබියෙදී අත් නොහැර දේශපාලන පරිවර්තනයක් සඳහා මේ දේශපාලනය තෝරා ගනිමින් මේ ගමන්මගේ ආවා. විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙමින්, අවලාද විඳිමින් ආ අපට අද ජයග්‍රහණය පේනමානයට පැමිණ තිබෙනවා. අපට මෙය ජයග්‍රහණය කළ හැකියි. මේ අවුරුද්දේ ඔක්තෝබර අග වෙන කොට අලු‍ත් ආණ්ඩුවක්, අලු‍ත් පාලනයක්. මේ ආණ්ඩුවට පැවරෙනවා ප්‍රධාන වැඩ කටයුත්තක්. මේ සමාජය මුළුමනින්ම පරිවර්තනයකට භාජනය කළ යුතුයි. එය කළ හැකි වන්නේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීමකින් පමණයි. ආණ්ඩුවක් හදලා, අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කළ යුතුයි.

සමන් උපුල් පිනිදිය, මාතර චන්ද්‍රදාස කොඩිතුවක්කු, තෙලිජ්ජවිල වජිර පූජිත ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment