බදාම යොදා ප්‍රතිකර්ම කළා ඉරිතැලීම් නිසා ජේතවන සෑයට කිසිම අවදානමක් නෑ

221

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්

බුදුන් වහන්සේගේ පටී ධාතුව තැන්පත් කර මහසෙන් රජතුමාගේ රාජ්‍ය පාලනය සමයේ ඉදි කළ වර්ෂ එක්දහස් පන්සීයක් තරම් ඉපැරැණි ඉතිහාසයකට දිව යන අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්ථූපයේ පවතින ඉරිතැලීම් වර්ධනය වීම වැළැක්වීමට බදාම යොදා ඇති බැවින් එම ස්ථූපයට කිසිදු අවදානමක් නොමැති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.

මීට වසර පහකට පමණ පෙර ස්ථූපයේ සිදුව ඇති මෙම ඉරිතැලීම් නිරීක්ෂණය වීමත් සමග එම ස්ථානවල බදාම ස්ථර යොදා ප්‍රතිකර්ම කර තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ජේතවන ස්ථූපයේ සිදුව ඇති පිපිරීමක් පිළිබඳව පළවී තිබූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව තවදුරටත් එහි ඉරිතැලීම් වර්ධනය නොවනු ඇතැයි පැවසූ හෙතෙම මෙම ඉරි තැලීම් වර්ධනය වනවා දැයි නිරීක්ෂණය කිරීමට ස්ථූපයට මිනි පිෂන් යනුවෙන් හැඳින්වෙන කුඩා මෙවලමක් (Gadget) සවිකොට තිබෙන බවත්, එහි ඉරිතැලීම් රටාවේ වෙනසක් සිදුවේ දැයි පිළිබඳව ජේතවන ස්ථූප වැඩබිම් කාර්යාලයේ නිලධාරීන් සතියකට එක් වරක් හෝ දෙවරක් නිරීක්ෂණය කොට තමන් වෙත සතිපතා වාර්තාවක් යොමු කරන බවත් ප්‍රකාශ කළේය.

මේ අතර ස්ථූපය අභ්‍යන්තරයට වැසි ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා තිබෙන පැරණි ජල මුද්‍රාව වෙනුවට අලුතින් ජල මුද්‍රාවක් (Water Seel) දැමීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද කීය.

“අපි ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරිතැලීම් වර්ධනය වීම නතර වී තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට ඉන්ජිනේරුවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ලෝකයේම අපට තියෙන ගඩොලින් නිර්මාණය කළ උසම ස්මාරකය වන ජේතවන ස්ථූපය ආරක්ෂා කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. යුනෙස්කෝ සංවිධානයටත් අපි මේ බව දැනුම් දී තිබෙනවා”

advertistmentadvertistment
advertistmentadvertistment