තණමල්විල දී යතුරුපැදිය නතර කරන්න කී පොලිස් නිලධාරීන්ට සැකකරුවන් පහර දීලා

354

තණමල්විල, උඩවලව මාර්ගයේ දිවා රථවාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ඉකුත් (17දා) තරුණයින් තිදෙනෙකු විසින් සවලකින් සහ පොලුවලින් පහර දීම නිසා තණමල්විල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව තණමල්විල පොලිසිය පවසයි.

තණමල්විල පොලිසියේ පො.සැ (90500) දමින්ද, පො.කො (67817) උදයකුමාර යන නිලධාරීන් දෙදෙනා තණමල්විල, උඩවලව මාර්ගයේ කොමළිගම ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටිය දී උඩවලව දෙසින් පැමිණි යතුරුපැදියකට නතර කරන ලෙස සංඥාකර ඇතත් පොලිස් අණ නොතකා ඉදිරියට ම ධාවනයකර තිබේ.

පසුව පොලිස් නිලධාරීන් සිය යතුරුපැදියෙන් ඔවුන් ලුහුබැඳ ගොස් ඇති අතර ටික දුරක් යනවිට අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය පුද්ගලික ඉඩමකට ඇතුළු කොට නතර කර ඇත.

පොලිස් නිලධාරීන් යතුරුපැදිය නතර නොකළේ ඇයි දැයි විමසූවිට ඔවු පවසා ඇත්තේ බීමත්ව සිටි නිසා නතර නොකළ බවයි.

යතුරුපැදිය අත්අඩංගුවට ගෙන රැගෙනයෑමට තණමල්විල පොලිසියේ පො.සැ (75594) ප්‍රභාත්, පො.කො (23832) අනුරුද්ධ යන නිලධාරීන් පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ දී බීමත්ව පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් සමග බහින්බස්වී ඇති අතර තරුණයන් තිදෙනා විසින් ඒ අසල තිබූ සවලක් සහ පොලුකැබැලි කිහිපයක් ගෙන පොලිස් නිලධාරීන් සිව්දෙනාට පහර දී ඇත.

සිද්ධිය පිළිබඳව තණමල්විල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් තණමල්විල රෝහලට ඇතුළත්කර තිබේ.

සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment