හරින්ගේ ‘තාත්තාගේ කතාව’ ගැන තවදුරටත් විමර්ශන නෑ

97

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් 2019.4.21 වැනි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබූ හෙයින් එදින කතෝලික දේවස්ථානවලට නොයන ලෙසට සිය පියා රෝහල්ගත වී සිටියදී තමාට ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව තවදුරටත් විමර්ශන කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විමර්ශන නිලධාරීන්ට දන්වා ඇතැයි නීතිපතිවරයා ඊයේ (13 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමා කළ එම ප්‍රකාශය මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම වළක්වන නියෝගයක් කරන ලෙස හා ප්‍රකාශ ලබාගැනීමට තමාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙස ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම මුවනෙක අලුවිහාරේ, පී. පද්මන් සුරසේන හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (13 දා) කැඳවිණි. විමර්ශන නිලධාරීන් විසින් මෙතෙක් කරන ලද විමර්ශන උද්ධෘත කෙරෙහි අවධානය යොමු කළ නීතිපතිවරයා පසුගිය ජුනි 20 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව ලිඛිතව දැනුම් දී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය. නීතිපතිවරයා ලබාදී ඇති එකී උපදෙස් අනුව සිය සේවාදායකයා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අවසන් කරගැනීමේ හැකියාව පවතින බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. කෙසේ නමුත් සිය විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ජනක් ද සිල්වා මහතා එකී මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමේ කටයුත්තට සම්බන්ධවීමට පෞද්ගලික හේතූන් මත අකැමැත්තක් දැක්වීම නිසා එම නඩුව ලබන 18 වැනිදා යළි කැඳවීමට දින නියම කරන බව විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment