චැනල් ෆෝ පච පදනම් කරගෙන රණවිරුවන් පාවා දෙන්න බෑ – උදය ගම්මන්පිල

84

ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් චැනල් ෆෝ වැනි නාලිකාවල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව කීවේ ඊයේ (13 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඔහු මෙසේ ද කීවේය.

“හතරැස් බොරු කියන චැනල් හතර හෙවත් චැනල් ෆෝ නාලිකාව විකාශනය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වැඩසටහන තමන්ගේ වාසියට යොදා ගන්න බොහෝ බලවේග උත්සාහ කරනවා. ඕනෑම කෙනෙකු උඩ පැනලා රාජපක්ෂලාට ගහන්න. ඒකට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් රාජපක්ෂලාට ගහන්න ගිහින් අපේ ජීවිත රැකදුන් රණවිරුවන්ට වදිනවා නම් අපේ ආදරණීය මව්බිමට වදිනවා නම් ඒක බරපතළ ප්‍රශ්නයක්.

චැනල් ෆෝ වැඩසටහනේ පාස්කු සම්බන්ධ තිබෙන එකම චෝදනාව ජනපතිවරණයේ දී වාසිය ගන්න සුරේෂ් සලේ මුස්ලිම් අන්තවාදීන් සමග සාකච්ඡා කළා කියන එකයි. තමන් ඒ කාලයේ ලංකාවේ නොවේ මැලේසියාවේ හිටියේ කියන එක සුරේෂ් සලේ කියනවා.

මේ කතාව ඇත්ත නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් මොකටද? පචයට උපන් චැනල් ෆෝ නාලිකාවට සුජාත භාවයක් ලබා දෙන්නේ මොකටද? මුලින්ම කරන්න ඕනි සුරේෂ් සලේ කියන කතාව ඇත්තද කියන එක පරීක්ෂා කිරීමයි. ඒකට ආණ්ඩුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතුයි. ඒක ආණ්ඩුවෙන් නම් කරන්නේ පල්ලියේ නියෝජිතයෙකු මෙන්ම විපක්ෂ නායකගේ නියෝජිතයෙකුත් ඒකට ඇතුළු කරන්න ඕනි. ඒකෙන් සුරේෂ් සලේ කියන්නේ බොරු කියලා ඔප්පු වෙනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියාට කමක් නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වනවිටත් ජාත්‍යන්තර පරීක්ෂණ තුනක් සිදු කළා කියන එක ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය දන්නේ නැද්ද?

ඒ වගේම පාස්කු මහ මොළකරු අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා වගේ. සැරින් සැරේ මාරු වෙනවා. මුලින්ම අයි.එස්.අයි.එස්., ඊළඟට ඇමෙරිකාව, ඊට පස්සේ මෛත්‍රිපාල සිරිසේන, ඊටත් පස්සේ ගෝඨාභය රාජපක්ෂ. දැන් ඔන්න සුරේෂ් සලේ. පාස්කු ප්‍රහාරය සමග මෙහෙම සෙල්ලම් කරන්නේ නැතිව කවුරු හරි මහ මොළකරුවෙකු ගැන දන්නවා නම් ඒක පොලිසියට දැනුම් දෙන්න. පොලිසියට කියන්නේ නැතිව මාධ්‍ය හමුවල රැස්වීම්වල අදහස් දක්වලා වැඩක් නෑ. මහ මොලකරුවෙකු ඉන්නවා කිව්වේ හිටපු නීතිපති දප්පුල ලිවේරා. එයාට ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කිව්වාම එයා දැන් සැඟවුණු අමුත්තා වෙලා.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ලේ කදුළු සමග දේශපාලන ගේම් ගහන්න එපා. ආණ්ඩු විරෝධීන් විදිහට අපි මේ ආණ්ඩුව පෙරළීමට කළ හැකි, කළ යුතු ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් රටත් රණවිරුවාත් පාවාදීමේ ගේම් එකකට නම් අප සූදානම් නෑ.

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමය කළුතර දිසා සංවිධායක නිමාලක සුරංග, හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරු ද සහභාගී වූහ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment