වල් ඌරකු මස් කරමින් සිටි අය පොලිසිය එද්දී ගසකට නැගලා

669

ගසේදී හෘදයාබාධයක් හැදී මරුට

වල් ඌරෙකු මස් කරමින් සිටියදී, පොලිසිය එම ස්ථානයට පැමිණෙන බවට ලද තොරතුරකට අනුව, එම ස්ථානයෙන් දිව ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර ගසක් උඩ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

පිරිසක් සමග වල් ඌරෙකු මරා, මස් කරමින් සිටින අතරතුර එම ස්ථානයට පොලිසියෙන් පැමිණෙන බවට ලැබුණු පණිවිඩයක් නිසා එම ස්ථානයෙන් දිව ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේද (1 දා) ගසක් උඩ තිබියදී සොයා ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය කුකුලෑව, සමාධි ගම ප්‍රදේශයේ පදිංචි ඩී. එස්. දයානන්ද නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි

ඉකුත් 30 දා නිවසින් පිටව ගිය තම පුතු යළි නිවසට නොපැමිණි බවට, කහටගස්දිගිලිය, සමාධි ගම පදිංචි රන්මැණිකා මහත්මිය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී, ලද තොරතුරකට අනුව කහටගස්දිගිලිය පොලිස් වසමේ පුංචි හල්මිල්ලෑව හේන් යායේ, අඩි 15ක් පමණ උස කදුරු ගසක අත්තක් මත තිබියදී මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි. තම පුතු හෘද රෝගී තත්ත්වයෙන් පෙළුණු බවත් ඒ සඳහා ඖෂධ ලබා ගන්නා අයෙකු බවත්, මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් නොමැති බව මරණකරුගේ මව සිදු කළ ප්‍රකාශවල සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. පිරිසක් සමග වල් ඌරෙකු මරා මස් කරමින් සිටියදී එම පිරිස සමග දිව ගොස් මරණකරු පමණක් ගසකට නැගී ඇති බවත් එම අවස්ථාවේදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය සඳහන් කළේය. මෙම මරණයට සම්බන්ධ හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment