තනි සටනක් දී හරක්කටාගේ පිම්ම වැළැක්වූ එස්. අයි. තාමත් හිටපු තැනමයි

2632

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක්කටා’ රහස් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ කරද්දී ඔහු සමඟ තනිවම සටන් කර එම උත්සාහය වැළැක්වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂකවරයාට උසස්වීමක් ලබාදීමට කර ඇති යෝජනාව මේ වනතුරුත් ක්‍රියාත්මක කර නැත.

හිටපු පොලිස්පතිවරයාගේ සමයේ මෙම ඉල්ලීම විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතා විසින් කර තිබූ අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

මෙම නිර්භීත ක්‍රියාව සිදුකළ උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් පරීක්‍ෂක නිලයට උසස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ ද සහය ඇතිව හරක්කටා එම දෙපාර්තමේන්තු මූලස්ථානයේ රාජකාරි කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරියාට පහරදී ඔහු සතුව තිබූ පිස්තෝලය ද පැහැරගෙන පලා යෑමට උත්සාහ කළේය.

එහෙත් 52 හැවිරිදි වියේ පසුවූ එම විශේෂ කාර්ය බළකා නිලධාරියා, 33 හැවිරිදි වියේ පසුවූ හැඩිදැඩි සිරුරක් ඇති, පාසල් සමයේ දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ හරක්කටා සමඟ පොරබදා ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහදී හරක්කටා මෙම නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර එය වළක්වාලීමට විශේෂ කාර්ය බළකා නිලධාරියා සමත් වී තිබිණි.

කෙසේ වෙතත් මෙම නිර්භීත ක්‍රියාව කළ උප පොලිස් පරීක්‍ෂකවරයා, පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඔහුට හිමිවිය යුතු උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව වරුණ ජයසුන්දර මහතා පවසයි.

මෙම දක්ෂ නිලධාරියාගේ නිර්භීත ක්‍රියාව නොවන්නට හරක්කටා මේ වනවිට විදේශ රටකට පලාගොස් නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වනු ඇති බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment