මතභේදයට තුඩුදුන් ශ්‍රී ලංකා සවි එසවීමේ තේරීම් තරග යළි පවත්වන්න – ඇමැතිගෙන් උපදෙස්

126

තේරීම් තරග පැවැත්වීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ බව කියන ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ ජාත්‍යන්තර නීති රීති හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ලබන 05 වැනිදා නැවත පවත්වන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ලංකා සවි එසවීමේ සංගමයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ සභාපති කපිල පෙරේරා යන මහත්වරුන්ද එක් වී ඇත.

ක්‍රීඩකයින් ඇපයට නොගෙන ක්‍රීඩා සංගම් තුළ ඇති නිලධාරීන්ගේ ගැටලු විසඳාගන්න ලෙසත්, ක්‍රීඩකයකුට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීමක් බවත් ඇමැතිවරයා එහිදී පවසා ඇත.

ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ පසුගියදා පැවති තේරීම් තරග සඳහා කවින්ද රන්සිළු ජයතිලක ක්‍රීඩකයා සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පිළිබඳව මෙහි දී ඇමැතිවරයා ඒ පිළිබඳව සංගමයේ සභාපතිවරයාගෙන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීම් කළ අතර, රන්සිළු ක්‍රීඩකයාට අහිමි වූ එම අවස්ථාව නැවත ලබා දිය යුතු බවද පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ ජාත්‍යන්තර නීති රීති හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මීළඟ සෙනසුරාදා (05) නැවත පැවැත්වීමට උපදෙස් ලබා දෙන ලදි. මෙම තේරිම් තරගය පෙර තේරිම් තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද දැනුම් දෙන ලෙසත් අදාළ තරගාවලි කාණ්ඩ යටතේ පැවැත්විය යුතු බවත් ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment