කුඩු ශිවාට එරෙහි වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 20 දා

33

හෙරොයින් ග්‍රෑම් 478 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නන්දකුමාර් සිවනන්දන් හෙවත් කුඩු ශිවා නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අප්‍රේල් 20 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

එම විත්තිකරු බන්ධනාගාර විශේෂ ආරක්ෂක බළකායේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2023.06.03 වැනිදා හෙරොයින් කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව අනුව එම හෙරොයින් තොගයේ, ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 478 ක ප්‍රමාණයක් අඩංගු බවට අනාවරණය වූයෙන් එම නඩුව පවරා තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment