පොලිසියට සමාජ විද්‍යාත්මක කියවීමක්

210

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක පොලිස් සේවාවක් ආරම්භ කිරීම සිදුවී ඇත්තේ 1866 සැප්තැම්බර් 3 වැනිදා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ “රත්නසිරි රේන්ජර්ස්” ප්‍රදේශය භාරව සිටි ස්කොට්ලන්ත ජාතිකයකු වූ ජෝජ් විලියම් රොබට් කැම්බල් මහතා ප්‍රථම පොලිස්පති ධුරයට පත් වීමෙන් පසුවය. මෙරට ජනතාවට මහජන ආරක්ෂාව සපයමින්, පුරා වසර 157 ශ්‍රී ලාංකේය ප්‍රජාව සමග බද්ධව නීතිගරක, යුක්තිගරුක ජන සමාජයක් බිහි කිරීම සඳහා මෙරට පොලිස් සේවාවෙන් සිදු කර ඇති මෙහෙවර පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.

● බ්‍රිතාන්‍ය පාලන යුගයේදී පොලිසියේ කාර්යභාර්ය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යට 1815 මාර්තු 02 දින යටත් වීමෙන් අනතුරුව එතෙක් මෙරට පැවති රාජාණ්ඩු ක්‍රම අහෝසි වී බ්‍රිතාන්‍යයේ ආණ්ඩුකාරවරයෙකු යටතේ සිවිල් පරිපාලනයට මුලපිරීය. එතෙක් පැවති සාම්ප්‍රදායික රාජකාරි ක්‍රමය අහෝසි වීමෙන් පසු 1833 මෙරට ආරම්භ ප්‍රථම පරිපාලන ප්‍රතිසංස්කරණය යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සේවාව හඳුන්වා දීම ද බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරනු ලැබීය. සාම්ප්‍රදායික ගම්මුලෑදෑනි පරිපාලන ක්‍රමවේදයක් තුළ එයට සහාය වීම සඳහා 1866 ආරම්භ වූ පොලිස් සේවාව බ්‍රිතාන්‍ය පරිපාලන යුගයේ ජනතාව අතර පිළිගත් විශ්වසනීය සේවාවකට වඩා ඇතැම් අවස්ථාවල බ්‍රිතාන්‍ය පරිපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ජනතාව පීඩාවට පත් කරන ඔවුන්ගේ අවශ්‍යතා මත පමණක් පෙනී සිටින සේවාවක් වීමෙන් ජනතාව අතර යම් අප්‍රසාදයක් ද පැවති බව ශ්‍රී ලංකාවේ පැරණි කෝලම් සහ නාඩගම් සාම්ප්‍රදාය අධ්‍යයනය කිරීමේදී මනාව පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය පරිපාලනයේ පොලිස් සේවාවේ ක්‍රියාවන් පිළිබඳව ජනතාවට තිබූ අප්‍රසාදය සහ පීඩනය පොලිස් කෝලම වැනි නාට්‍යය සාම්ප්‍රදාය සමාජ විද්‍යාත්මකව කියවීමෙන් තහවුරු වන අතර එය මහජන ආරක්ෂාවකට එහා ගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි පීඩනයේ තවත් එක් සංකේතයක් ලෙස හඳුනාගත හැකිය.

● නිදහසෙන් පසු මෙරට පොලිස් සේවාවේ ගමන්මග

වසර 80 කට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ ගොඩනැගුණු මෙරට පොලිස් සේවාව දේශීය චින්තනයක් මත ශ්‍රී ලාංකේය ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකිව යුතු ආයතනයක් බවට පත් වීමේ අභියෝගය මත “ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” යන තේමා පාඨය යටතේ පොලිසිය ප්‍රතිසංවිධානය වීම 1948 පෙබරවාරි 04 දින සිට ආරම්භ වී මේ වන විට වසර 75 ක් සපුරා තිබේ. එකී කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකේය ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, යුක්තිගරුක-නීතිගරුක ජනසමාජයක් ගොඩනැගීම, අපරාධ පාලනය කිරීම, ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය වැළැක්වීමට උරදීම, මහජනතාව සමග සමීපව කටයුතු කරමින් ප්‍රජා පොලිස් කටයුතු ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර පොලිසිය සමග සබඳතා ශක්තිමත් කරමින් ලෝක පොලිස් සේවාව තුළ ශක්තිමත් වීම, අධිකරණයේ යුක්තිය පසඳලීමේ කාර්යයට සහාය වෙමින් ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගා ගැනීම මෙකී කාල පරිච්ඡේදය තුළ පොලිසිය වෙතින් ප්‍රශස්ත මට්ටමකින් සිදු වූ බව තර්කයකින් තොරව පැහැදිලි වේ.

● පොලිසිය සමාජයේ කැඩපතක් වීම

දියුණු රටවල පොලිස් සේවාවේ ප්‍රගතිය අධ්‍යයනය කිරීමේ දී පොලිසිය නූතනකරණය වීම දෘශ්‍යමාන වන අතර, අපරාධ පාලනය කිරීම, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, පාතාලය මර්දනය කිරීම, මූල්‍ය හා පරිගණක අපරාධ වැළැක්වීම, ජාත්‍යන්තර රහස් ඔත්තු සේවා කටයුතු අධ්‍යයනය කිරීම, බුද්ධි තොරතුරු වාර්තා කිරීම, දියුණු විද්‍යාත්මක විෂයානුගත අධ්‍යයන ක්‍රමවේද මත පවතින නමුත් ශ්‍රී ලංකා පොලිසියට එකී කාර්යභාරයන් ඉටු කිරීමේදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඈත අතීතයේ සිට පැවතෙන සාම්ප්‍රදායික දඬුවම් ක්‍රම, සාම්ප්‍රදායික් පීඩනයන් සමාජය වෙත මුදාහරින ක්‍රමවේදයන් තව දුරටත් මෙරට පොලිස් ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක බව බවක් විද්‍යාමාන වන අතර, එය සමාජ විද්‍යාඥයන්ගේ සහ මෙරට අනෙකුත් ක්ෂේත්‍රයන්හි විද්වතුන්ගේ විවේචනයට ද ලක් වී තිබේ. එමෙන්ම මෙරට සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රවාහයේ නොදියුණුව ද පොලිස් දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම්වලට බාධාවක් වෙමින් ගත වූ 75 වසරක කාලපරිච්ඡේදය තුළ පොලිසිය සමාජ විද්‍යාත්මක සහ ව්‍යුහාත්මක වෙනසකට ලක් වීම වෙනුවට, පොලිසිය දේශපාලනීකරණය වෙමින් ශ්‍රී ලාංකේය සමාජයේ බිඳ වැටුණු අනෙකුත් සමාජ සංස්ථා හා සමවීම ද මෙරට සමාජ ක්‍රමයේ දියුණු සංස්කෘතික පරිවර්තනයකට මහත් බාධාවක් වී තිබේ.

ගතවූ 75 වසරක කාලපරිච්ඡේදය තුළ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීම සඳහා විවිධ රජයන් යටතේ යම් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ ද ශ්‍රී ලංකා පොලිසිය වෙතින් මහජනතාව අපේක්ෂා කරන යුක්තිගරුක නීතිගරුක අභිමානවත් පොලිස් සේවාව නිර්මාණය කර ගැනීමට නොහැකි වීමට බලපා ඇති සමාජ විද්‍යාත්මක අධ්‍යයනය පොලිසිය මහජනතාවගේ ගුණාත්මක සේවාවක් බවට පත් කර ගැනීමට නම්, ඒ පිළිබඳව පොලිසිය තුළින්ම පොලිසිය පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යයනයක් කළ යුතුය. ආසියාතික දේශපාලනයේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාවලිය වන පවුල් බලය, ඥාති සංග්‍රහය, දේශපාලන සබඳතා පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුකරණයන් සහ එයට දායක වන පොලිසිය පිළිබඳව වඩාත්ම සුදුසු නිදසුන වන්නේ ඉන්දියානු ප්‍රාන්ත පොලිස් සේවාව අධ්‍යයන කිරීමේදී පැහැදිලි වන අතර, එවන් පොලිස් සේවාවකට ඔබ්බෙන් වූ ගුණාත්මක පොලිස් සේවාවක් මෙරට නිර්මාණය කිරීම සඳහා පසුගිය රජයන් හඳුන්වා දුන් පොලිස් කොමිෂම ද මෙරට ජනතාව සහ එය හඳුන්වා දුන් රජයන් අපේක්ෂා කළ පරමාර්ථ ඉටු වී තිබේද යන්න ප්‍රශ්න කළ යුතු බව සමාජයේ කියවීමයි.

● පොලිස් කොමිසම යථාර්ථයක් වීමට නම්

ශ්‍රී ලාංකේය පොලිස් සේවාවෙන් ජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්තනය, ගුණාත්මක පොලිස් සේවාව බිහි කරගැනීම උදෙසා සමාජය යම්තාක් දුරට නීතිය පිළිබඳ විශ්වාසය තබමින් පොලිසිය පිළිබඳව පිළිගැනීමක් ඇති කරමින් අපේක්ෂිත පොලිස් සේවාව විධිමත් කිරීම සඳහා යහපත් චේතනාවෙන් පසුගිය රජයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් හඳුන්වා දුන් ස්වාධීන පොලිස් කොමිෂම ජනතා අපේක්ෂා සහ යථාර්ථයන් ආරක්ෂා කර දී තිබේද යන්න ගැටලු සහගතය. ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍ය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට ලක් වීම අති දුෂ්කර ක්‍රියාදාමයක් වන බැවින් පාර්ලිමේන්තුවේ 2රැ3 අති බහුතරයක් මත පක්ෂ විපක්ෂ එකඟතාවක් මත සිදු වන එකී ක්‍රියාදාමය ජනතාවට අතිශය වැදගත් වන නමුත් එහි ප්‍රතිඵලයක් මත බිහි වූ පොලිස් කොමිසම එම ජනතා අපේක්ෂා ඉටු කරනු වෙනුවට, ඇතැම් විශ්‍රාම ගත් රාජ්‍ය නිලධාරීන්ගේ ගිමන් නිවන විවේකාගාර බවට පත් වූ බවට මහජන නියෝජිතයන්ගෙන්ම දැඩි විවේචන එල්ල වී තිබේ. මහජනතාව පොලිසිය වෙතින් අපේක්ෂා කරන යුක්තිගරුක නීතිගරුක පොලිස් සේවාව බිහි කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ දැනුම, කුසලතා, ආකල්ප පෝෂණය කිරීම දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයක් මත විධිමත්ව සිදු විය යුතු අතර, පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ සිට විෂයානුබද්ධ දැනුම, වෘත්තීය කුසලතා, ක්‍රීඩා කෞෂල්‍ය, වෙනත් දක්ෂතා සහ කුසලතා මත පිහිටුවිය යුතු නමුත්, ගත වූ දශක හතරක පමණ කාලය තුළ සිට පොලිස් නිලධාරීන්ගේ බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් සහ වෙනත් වරප්‍රසාද සියල්ල සිදු කර ඇත්තේ දේශපාලන අවශ්‍යතා මත බවට සමාජය තුළින්ම දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

● නූතන පොලිසියට සමාජ විද්‍යාත්මක කියවීමක් අවශ්‍යද,

ලෝකයේ දියුණු රටවල (යුරෝපීය, ස්කැනේඩියානු) සහ ආසියාවේ ඇතැම් රටවල පොලිසිය විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කියවීම අනුව ඉදිරියට පැමිණ ඇති අතර විශේෂයෙන් අපරාධ කළමනාකරණය කිරීමේදී අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය, මනෝ විද්‍යාව වැනි විෂයන් මත කටයුතු කරමින් විෂයානුබද්ධ දියුණුවක් පොලිසිය ලබා ගෙන ඇති බව නිරීක්ෂණය වේ. එහෙත් ශ්‍රී ලංකාවේ පොලිස් සේවාවේ පසුගිය කාල පරිච්ඡේදයේ සිදුකළ ව්‍යුහාත්මක වෙනස්කම් හමුවේ ජනතාව සහ රජයන් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දීමට තරම් ශ්‍රී ලංකා පොලිසිය විෂයානුබද්ධව සමත් නොවුන බව වාර්තා වී තිබේ. නිදසුනක් ලෙස 2015 දී මහජන අපේක්ෂා මත ගොඩනැගුණු යහපාලන රාජ්‍ය ප්‍රතිපත්ති යථාර්ථයක් කර ගැනීමෙහි ලා දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, පොලිස් අපරාධ කොට්ඨාසයේ එකී අරමුණ සහ පරමාර්ථ උඩු යටිකුරු වූ බවට සමාජයේ දැඩි විවේචනයක් පොලිසිය වෙත එල්ල වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුකරණය පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ දැනුම, වෘත්තීය නිපුණතාවන්ගේ මදසරුබව, අධ්‍යාපනය, පළපුරැද්ද සහ ඒ පිළිබඳ තිබිය යුතු විශේෂ ප්‍රාගුණ්‍යය නොමැතිකම බව පෙන්වා දී ඇති අතර පොලිස් නිලධාරීන්ගේ දේශපාලන සබඳතා ද එකී මහජන පරමාර්ථ යථාර්ථයක් කර ගැනීමට බාධාවක් වූ බව සමාජයේ පිළිගැනීමයි.

මෙකී දුර්වලතාවන් සැලකිල්ලට ගෙන නූතන පොලිසිය සමාජ විද්‍යාත්මකව ගොඩගැනීම පොලිසියේ අභිමානයට සහ ගෞරවයට විශාල වශයෙන් වැදගත් වන අතර, එවන් පොලිස් සේවාවක් ගොඩනැගීම ශ්‍රී ලාංකේය පොලිසියට පවතින අභියෝගය බව වටහා ගත යුතු වේ. ඒ සඳහා පැරණි පොලිස් ආඥා පනත වර්තමානයට ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කරමින් නව පොලිස් පනතක් ගෙන ඒම යුගයේ අභියෝගය වන අතර, එවන් ගුණාත්මක පරිවර්තනයක් කිරීම සඳහා සබුද්ධික පොලිස් නිලධාරීන්ගේ සහයෝගය රටක ජනතාවට මෙන්ම ආණ්ඩු වෙත ද අත්‍යවශ්‍ය වන්නේය. පොලිසියට වසර 157 ක් සැපිරෙන මෙවන් දිනයකදී ආදර්ශයට ගත යුත්තේ පොලිසියේ හෙට දවස වඩාත් සාර්ථක ලෙස ගොඩනැගිය හැක්කේ කුමන සමාජ විද්‍යාත්මක කියවීමකින්ද යන්න පොලිස්පතිතුමන්ගේ සිට සෑම පොලිස් නිලධාරියෙක්ම අධිෂ්ඨාන කර ගැනීමෙනි.

ආචාර්ය හර්ෂ බී. අබේකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment