අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිහිප දෙනකුට තීරණය කිරීමට ඉඩදිය නොහැකියි – මහජන සුබසිද්ධියට හදිසි නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා

124

* කෘෂිකර්ම ඇමැති – මහින්දානන්ද අලූත්ගමගේ

* හාල් මාෆියාව එක්ක  ආණ්ඩුවේ  දෙන්නෙක් ඉන්නවා – රංජිත් මද්දුම බණ්ඩාර

* පාරිභෝගිකයන් රැකගැනීමේ මුවාවෙන් ආණ්ඩුව  බලය ලබාගන්න හදනවා – අනුර කුමාර දිසානායක

* සාධාරණව වෙළෙඳ කටයුතු කිරීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යයි – ඇමැති වාසුදේව නානායක්කාර

* වෙළෙඳ මාෆියාවක් තියෙනවා: එය වැළැක්වීම අපේ වගකීමයි – රෝහිත අබේගුණවර්ධන

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිහිප දෙනකුට  තීරණය කිරීමට ඉඩදිය නොහැකියි - මහජන සුබසිද්ධියට හදිසි නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කිහිප දෙනකුට තීරණය කිරීමට ඉඩදිය නොහැකි බවත් මහජන සුබසිද්ධිය උදෙසා හදිසි නීති රෙගුලාසි කි‍්‍රයාත්මක කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06 දා) පෙරවරු 10.00 ට රැස්විණි.

කථානායක නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් ජනාධිපතිවරයා පනවන ලද හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය ඇරඹිණි.

විවාදය ආරම්භ කරමින් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා

ජනාධිපතිතුමා විසින් අගෝස්තු මස 30 වැනිදා හදිසි නීතිය ගැසට් කරලා තියෙනවා. එය ගැසට් කරලා දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිට දින 14 යි බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවට තමයි එය සම්මත කරලා නීතියක් බවට පත්කිරීමට අයිතිය තිබෙන්නේ. පාරිභෝගිකයන් වෙනුවෙන් මේ හදිසි නීතිය ගැසට් කරලා තිබෙන්නේ. මේක පළමු අවස්ථාව නොවෙයි. වැල්ලම්පිටිය කුණු කන්ද කැඩුනහමත් හිටපු අගමැතිතුමා හදිසි නීතිය පැනවූවා අපි දැක්කා. අප දැක්කා විදෙස් මාධ්‍යවල පෙන්නුව මේ රටේ ආහාර හිඟයක් තිබෙනවා කියලා. මම කියන්න ඕන මෙතැන තියෙන්නේ ආහාර හිඟයක් නොවෙයි. ආහාර මාෆියාවක්. මේ රටේ වී හිඟයක් නෑ. සහල් හිඟයක් නෑ. නමුත් මෙහි මාෆියාවක් තිබෙනවා. කිසිදු එළවළු හිඟයක් නෑ. මම එය කෘෂිකර්ම ඇමැති ලෙස වගකීමෙන් කියෙනවා. මේ රටේ විපක්‍ෂය කියනවා රටේ ආහාර හිඟයක් තිබෙනවා කියලා. අපි කියන්න ඕනෑ උද්ඝෝෂණ

847 ක් නැවැත්තුවා. නමුත් අපි ඒවාට එක වතුර බවුසරයක් ගෙනල්ලා ගැහුවේ නෑ. එදා අපිට කිතුල් ඇට දාලා ගැහුවේ. අපි නාලා වැවට පැනලා බේරුනේ. අද සහල්වලට උපරිම මිලක් දාලා තිබෙනවා. වී වලට පාලන මිලක් දාලා තිබෙනවා. ඒත් මේ වී මාෆියාව වී කිලෝ එක 55 ට ගත්තේ අරගෙන 125 ට වික්කේ. රුපියල් 60 ට සම්බා අරගෙන 225 ට විකුණුවා. මේ මහත්තුරු එක කන්නයකට බිලියන 50 ක් ලාභ ලබනවා. මෙහෙම හාල් වැඩිමිලට විකුණනවා නම් අපිට කරන්න වෙන්නේ පාරිභෝගික ආරක්‍ෂණ පනත කි‍්‍රයාත්මක කිරීමයි.

මේ හතර පස් දෙනෙක් කි‍්‍රයාත්මක කරන මාෆියාවට එරෙහිව අපි කටයුතු කරන්න ඕනෑ. ඒ කාලේ වී කිලෝ එක රුපියල් 30 ට ගියේ අද එහෙම නෑ, අපි මේ පනත අද සම්මත කරන්නේ මහජනතාවගේ සුබසිද්ධිය උදෙසායි. සීනි, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කිහිප දෙනකුට තීරණය කරන්න දෙන්න බෑ. අපි මිලිටරිකරණයට යන්න නොවෙයි. අපි එක උද්ඝෝෂණයකට වතුර ගහලා නෑ.

පත්කළ මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා (සජබ)

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිහිප දෙනකුට  තීරණය කිරීමට ඉඩදිය නොහැකියි - මහජන සුබසිද්ධියට හදිසි නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා


මේ රටේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ආණ්ඩුවකට බඩු මිල පාලනය කරගන්න බැරිව හදිසි නීතිය ගෙනත් තිබෙන්නේ. කොවිඞ් හෝ බඩු මිල පාලනය කරන්න නොවෙයි මේ හදිසි නීතිය ගෙනාවේ. ආණ්ඩුවට එරෙහිව එන විරෝධය නවත්වන්නයි. බඩු මිල පාලනය කරන්න හෝ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් කොමසාරිස්ලා පත්වුණා ඩ‍්‍රැඞ්මන් වීරකෝන්ලා වගේ. නමුත් අද හමුදා නිලධාරීන් තමයි පත් වෙන්නේ.

සීනි මිල අඩු කරන්න කියලා සීනි බද්ද ශත 25 ට ගෙනවා. නමුත් සීනි මිල අඩුවුණා ද. ශත 25 බද්දට පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සීනි මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හතක් ගෙනල්ලා මේකෙන් රුපියල් කෝටි 3500 ක් රජයට අහිමි වුණා. පොහොර සහනාධාරය මේ මුදලින් දෙන්න තිබුණා. ෆයිසර් එන්නත් ගෙනල්ලා මාත‍්‍රා දෙකම ජනතාවට දෙන්න තිබුණා. ආණ්ඩුව කරන්නේ තමන්ගේ ගජ මිතුරන්ට සල්ලි දෙන්නයි. මේ සීනි බදු වංචාව නවත්වන්න. අදටත් රුපියල් 100 ට අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. ඒත් 130 ට දෙන්න යනවා. හාල් මාෆියාවක් ගැන කිව්වා. හාල් මාෆියාව එක්ක මේ ආණ්ඩුවේ දෙන්නෙක් ඉන්නවා. ඒත් ආණ්ඩුවට මේක පාලනය කර ගන්න බෑ.

පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා

මේ හදිසි නීතිය පැනවූයේ විපක්‍ෂය මර්දනය කරන්න නොවෙයි. මෙය ජනාධිපතිතුමා තනිව ගත්තු තීරණයක් නොවෙයි. ජනතාවට සහන ඉල්ලූවා. ජනතාව කිව්වේ අලූතින් නීතිදාලා හරි බඩු මිල අඩු කරන්න කියලයි. ජනතාව ගැන හිතනවාද ව්‍යාපාරිකයා ගැන බලනවාද කියලා තමයි මේ හදිසි නීතිය පනවන්න ආණ්ඩුව කි‍්‍රයාකළේ. ආණ්ඩුව ගැසට් මගින් හාල් මිල, සීනි මිල ප‍්‍රකාශයට පත්කළා. නමුත් ඒත් සීනි ගබඩාවල සඟවාගෙන හිටියා. ඒ නිසයි සීනි ගබඩා වටලන්න වුණේ. දැන් සතොස අපිට බඩු සෘජුවම පිටරටින් ආනයනය කරන්න ඉදිරියේදී අපි කටයුතු කරනවා. නැත්නම් මේ වෙළෙඳ මාෆියාව නැවත වරක් කි‍්‍රයාත්මක වේවි. හිතක් පපුවක් නැති වෙළෙඳ ප‍්‍රජාවත් ඉන්න රටක අපට මෙහෙම කරන්න වෙනවා. නඩු දඩ වලටම මේ රට හුරුවෙලා. ඒ නිසා අපට නීතිය කි‍්‍රයාත්මක කරන්න වෙනවා. ඇති නැති පරතරය අඩු කරන්න අපට සිද්ධ වෙනවා.

යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා

මෙම නීති හදිසි නීතිය අනුව නොවෙයි පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරී පනත සහ අත්‍යවශ්‍ය සේවා යටතේ පැනවිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව මේ හදිසි නීතිය පාවිච්චි කරන්නේ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීත්වය නැති කරන්නයි.

පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා

අප ආණ්ඩුවක් ලෙස ජනතා ජීවිත පිළිබඳ අවධානය දැක්විය යුතුව තිබෙනවා. අද කොවිඞ් වසංගතය මැද ප‍්‍රවාහන, අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල වශයෙන් මිල ඉහළ ගිහින් තිබෙනවා. දරුවන්ට පාසල් යන්න බැරිවෙලා. එවැනි තත්ත්වයක් තිබියදී අසාධාරණ ලෙස බඩු මිල වැඩිවීමක් පසුගිය කාලය තුළ සිදුවූවා. අප ඒ සඳහා පාරිභෝගික අධිකාරියෙන් ගතහැකි සහ ගතයුතු උපරිම පියවර අපි ගත්තා. ගෑස් මිල සම්බන්ධයෙන් අපි පාරිභෝගික අධිකාරි පනත අනුව උසාවි ගියා. උසාවිය නඩුව පසුගිය ඔක්තෝබර් මාසය වනතෙක් කල් තැබුවා. එය මේ අධිකරණයේ වරදක් නොවෙයි. පාරිභෝගික අධිකාරිය විසින් නඩු 35000 ක් පමණ පවරා තිබෙනවා. නමුත් එකම එක නඩුවකටයි අධිකරණ තීන්දුවක් ලබාදී තියෙන්නේ.

පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා හදිසි නීතිය පැනවූයේ. මේ නිසා අද සීනි හාල් මිල වෙළෙඳපොළේ පහළට ගියා.

තවදුරටත් මිල පහළට ගෙන යෑමට අවශ්‍ය යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන්න, ජනතාවට සහන ලැබෙනවා නම් අපි පිළිගන්නවා.

වරායේ තියෙන සීනි කන්ටේනර්වලට බදු සහන දුන්නේ ඒවා සතොසට ගන්නයි. නැතිව ව්‍යාපාරිකයන්ට දෙන්න නොවෙයි. විපක්‍ෂය වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. ලබන සිකුරාදා වෙන්න පෙර රටේ සෑම ආයතනයකටම සීනි හා සහල් මිල අඩුකර අවශ්‍ය ප‍්‍රමාණයට ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කරනවා.

සීනි සඳහා වසර ගණනාවක සිට විවිධ මට්ටමේ බදු පැනවීම් සිදුකර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය පාලන මිලක් පැනවූයෙන් එය කඩ කරන අයට දඩය රුපියල් 10,000 යි. එය අපි ලක්‍ෂය දක්වා වැඩි කළා. සමාගමක් කඩකළා නම් දඩය ලක්‍ෂ 50 දක්වා වැඩිකළා. දෙවන වරට කඩ කළොත් දඩය තවත් වැඩිකළා. 2003 සිටම වැඩිවීමක් වූයේ නැහැ. ලබන සතියේම සම්මත කරදෙන ලෙස ඉල්ලනවා.

රුපියල් 85 ට ගෙනාපු සීනි 125 ට දෙනවා කියනවා. ඇත්ත. ඩොලරයේ ප‍්‍රශ්නය නිසා මාස 06 කට පසුව ආනයනකරුවන් මුදල් ගෙවන්නේ. ඒ වනවිට ඩොලරයේ අගය දැනටම වැඩියි. ඒ නිසයි අපි ගණනය කිරීම් කළේ.

සීනි දේශීය නිෂ්පාදනය වැඩිවෙලා තියෙනවා. අපි ගත්ත සීනි සමුපකාර සතොසවලට දුන්නා. අද සිට දිස්ත‍්‍රික් ලේකම්වරුන් මගින් තොග වෙළෙඳුන්ට ලබාදෙනවා.

සත පහක්වත් තවම ආනයනකරුවන්ට ලබාදී නැහැ. රජය පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමේ වගකීම මොනම ආකාරයටවත් ඉවත් නොවී පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවම මිලකට ලබාදීමට කටයුතු කරනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජ.වි.පෙ)

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිහිප දෙනකුට  තීරණය කිරීමට ඉඩදිය නොහැකියි - මහජන සුබසිද්ධියට හදිසි නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා

භාණ්ඩ මිල ඉහළ යෑමට හේතු කිහිපයක් පවතිනවා. ආර්ථි අර්බුදය, රජයේ ප‍්‍රතිපත්ති තීරණ, ජාවාරම්කාර කුඩා කණ්ඩායම්වල මැදිහත්වීම ආදිය ඊට හේතු වෙනවා.

හදිසි නීතියට ඉතිහාසයේ සිටම අපි විරුද්ධ වුණා. අපි 20 සම්මත කර දුන්නා. දැන් හදිසි නීතියක් සම්මත කර දෙන්නලූ. බලය පමණයි අවශ්‍යය. අපි හදිසි නීතිය දොර විවර කර දුන්විට ඕනෑම නීතියක් අත්හිටුවන්න සංශෝධනය කරන්න ජනාධිපතිට බලය පැවරෙනවා.

වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න කඩාපනින්න දේපල පවරා ගන්න, උද්ඝෝෂණ පවත්වන්න ආදී ඕනෑම දෙයක් කරන්න බලය පැවරෙනවා.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ භාණ්ඩ 30 ක් අත්‍යවශ්‍ය භාණ්ඩ කර තියෙනවා. උපරිම සහල් සීනි මිල පැනවූයේ පාරිභෝගික පනත යටතේ. හදිසි නීතිය අවශ්‍ය වූයේ නැහැ. ගබඩා වැටලූවේ පාරිභෝගික අධිකාරිය.

පාරිභෝගිකයන් රැුක ගැනීමේ මුවාවෙන් හදිසි නීතිය යටතේ බලය ලබාගැනීමයි සිදුකරන්නේ. පාර්ලිමේන්තුව සම්මත කළ කිසිම නීතියක් වැඩක් නැති වෙනවා. හදිසි නීතිය යටතේ නීතිය වෙනස් කිරීමේ බලය ජනපතිට ලැබෙනවා.

වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන

වෙළෙඳ මාෆියාවක් සිදුවෙනවා නම් එය වැළැක්වීම අපේ වගකීමක්. හමුදා පාලනයක් ගැන එදා මැතිවරණ වේදිකාවේ විපක්‍ෂය කිව්වා. සුදු වෑන් සංස්කෘතියක් ගැන කිව්වා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලෙස මේජර් ජනරාල්වරයෙක් පත්කළා. ඒක වැරදියි කියලා විපක්‍ෂය කියනවා. එදා මාවිල්ආරු සොරොව්ව වැහුවාට පසුව එය අරින්න කියලා ජනපති මහින්ද නියෝග කළේ හමුදාපතිට. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට නියෝග කළා නම් මොකද වෙන්නේ. ඔක්කොම වෙඩි තියලා මරා දාවි. මේක රටේ ආපදා තත්ත්වයක්. එහිදී තීන්දු තීරණ නිවැරදිව ගත යුතුයි.

හදිසි නීතිය ගැන විවිධ කතා ඇති කරනවා. පලිගන්න හදිසි නීතිය අවශ්‍ය නැහැ කියලා යහපාලන ආණ්ඩුව කියලා දුන්නා. ඒ ආණ්ඩුව කරපු අයට සැකයක් තියෙනවා ඔවුන් එය කරපු හින්දා. හිදිසි නීතිය පාරිභෝගික අයිතිය ආරක්‍ෂා කරන්නට විතරක් භාවිත කරනවා. විපක්‍ෂයේ නිදහසට බාධාවන පරිදි අපි හදිසි නීතිය යොදා ගන්නේ නැහැ. හදිසි නීතිය දේශපාලන දඩයම් සඳහා යොදාගන්නේ නැහැ.

දේශපාලන දඩයම් කළා නම් විපක්‍ෂයේ කීදෙනෙක් කූඩුවලද? අපි එහෙම නැහැ.

පත්කළ මන්ත‍්‍රී එරාන් වික‍්‍රමත්න මහතා (සජබ)

අද වසංගතය මර්දනය කිරීම වෙනුවට මිනිස්සු මර්දනය කිරීමටත් අනපනත් ගෙන එන්නේ. වසංගතය මැ`ඞීමටයි අපනපනත් අවශ්‍යය. නිසි කලට නිසි තීන්දු නොගෙන මොකටද මර්දන පනත් ගේන්නේ. ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. හිදිසි නීතිය හරහා ජනතාවගේ සිවිල් නීතියට බලපෑම් කරන්න ජනපතිට පුළුවන්. හිදිසි නීතිය නොවෙයි අවශ්‍යනම් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර කි‍්‍රයාමාර්ග ගන්න තිබුණා.

රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වරුණ පි‍්‍රයන්ත ලියනගේ (සජබ)

වී ගොවියාට තේ ගොවියාට අසාධාරණ වෙනවා. ඔවුන් පාරට එන එක වළක්වන්නද ආරක්‍ෂක පනත ගෙනාවේ. සිමෙන්තිවලට පමණක් නොව කම්බි වලටත් පාලන මිලක් ගේන්න.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිහිප දෙනකුට  තීරණය කිරීමට ඉඩදිය නොහැකියි - මහජන සුබසිද්ධියට හදිසි නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා


හදිසි නීතිය වෙනත් කිසිම කරුණකට නොව අත්‍යවශ්‍ය ආහාර සැඟවීම වළක්වා වෙළෙඳපොළට ගෙන ඒමට ගෙන එන බව ජනපතිම කිව්වා.

බඩු මිල ඉහළ යද්දී භාණ්ඩ ස`ගවා ජාවාරම් කරද්දී රටේ ජනතාවට ඊට මුහුණ දීමට නොහැකිවීම බරපතළ තත්ත්වයක්. එය වැළැක්වීමට හදිසි නීතිය ගෙනාවේ. පාර්ලිමේන්තුව මාසිකව හදිසි නීතිය සම්මත කළ යුතුයි.

වෙළෙඳ ත‍්‍රස්තවාදය මර්දනය කරනවා. හදිසි නීතිය අවශ්‍යමයි. රටේ ජනතාවට අත්‍යවශ්‍ය බඩු බෙදන්න සාධාරණව වෙළෙඳ කටයුතු මෙහෙයවීමට රජය මැදිහත්වීම අවශ්‍යයි.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා (සජබ)

කොරෝනා ආපු ගමන් ගජ මිතුරෙකුට ඇන්ටිජන් ගෙන්වීමට භාර දුන්නා. ඒවා වහන්න සීනි අල්ලන්න පටන් ගත්තා. සීනි හොරට ගබඩා කරපුවා නොවෙයි. අවසර ඇතිව තිබූ ඒවා. සීනි රාජසන්නක කළා කියලා දැන් සල්ලි ගෙවනවා.

හමුදාව හැම දිස්ත‍්‍රික්කයටම දාලා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන ආණ්ඩුව අරඹලා.

පත්කළ මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ (ශ‍්‍රීලපොපෙ)

කොවිඞ්වලට වඩා දරුණුයි බඩගින්න. මන්දපෝෂණය. ළමුන්

පස්දෙනකුගෙන් එක් අයකු මන්දපෝෂණයෙන් පෙළෙනවා. සියයට 60 ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. මේ අයට කෑම ලබාදීමේදී නව ලිබරල් අදහස් ඇති අය මුදල් ගැන විතරයි හිතන්නේ.

අපි හදිසි නීතිය පනවනවාට එදා සිට විරුද්ධයි. නමුත් මේ අවස්ථාවේදී හදිසි නීතිය අවශ්‍ය වෙනවාමයි. කි‍්‍රයාත්මක කිරීමට සහාය දෙන ගමන් ජනපතිගෙන් ඉල්ලනවා. එය වැරදි විදිහට පාවිච්චි කරන්න කාටවත් ඉඩදෙන්න එපා කියලා.

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා

පාරිභෝගිකයන්ට සහන සැලසීමටයි මේ හදිසි නීතිය ගෙනාවේ. අගෝස්තු මාසයේ තමයි භාණ්ඩ මිල වැඩිවුණේ. ඊට පෙර අපි සීනි අඩුමිලට දුන්නා. සීනි ටෙන්ඩර් දැමූ විට 180 ටත් ඉල්ලූවා. පස්සේ අපි එය අවලංගු කර සතොසට දුන්නා. උක් ගොවියාට මිලක් තිබුණේ නැහැ. එතනෝල් ගේන එක නවත්වලා අපි ලංකා සීනි සමාගම වැඩිමිලට එතනෝල් දුන්නා. ආණ්ඩුවට මුදල් ලැබුණා. ඒ මුදලින් අඩු මිලට ජනතාවට සීනි දෙන්න හැකිවුණා.

කන්තලේ සීනි කර්මාන්තය අපි මේ වසරේ අරඹනවා. අපි සීනි සියයට 50 ක් නිෂ්පාදනය කරන්න පියවර ගන්නවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් (සජබ)

ඩොලර් එක ගැන ආණ්ඩුව බොරු කියනවා. වාණිජ බැංකුවල රුපියල් 231 ක්.

වසර එකහමාරක් ගතවුවද මේ වනතෙක් කොවිඞ් පාලනයට එක පනතක්වත් ගෙනාවේ නැහැ. වෙන වෙන පනත් සම්මත කර ගත්තා.

ආණ්ඩුව ගැසට් දහයක් විතර ගැහුවත් හාල් වික්කේ ඩඞ්ලි සිරිසේනගේ ගාණට. අඩු මිලට සීනි ගේන්න ඉඩ හැරියා. හදිසි නීතිය ගබඩා වටලන්න අවශ්‍ය නැහැ. ආණ්ඩු විරෝධය එන්න එන්නම වැඩිවෙන නිසා ඒවා පාලනය කරන්න තමයි හදිසි නීතිය ගෙනාවේ.

මේ ආණ්ඩුව කළේ මුදල් අච්චු ගහන එක විතරයි. වෙන කරන්න දෙයක් ඉතිරි වී නැහැ.

රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ

ආණ්ඩුව ගත් කි‍්‍රයාමාර්ග නිසා අද සීනි මිල පහළ ගිහින් තිබෙනවා. වැටලීම් කිරීමට අවශ්‍ය සහාය ජනතාවගෙන් හා මාධ්‍යවලින් ලැබුණා. හදිසි නීතිය ගෙනාවේ ජනතාවගේ ජනජීවිතය සුරක්‍ෂිත කිරීමටයි. මේ අභියෝගය ජයගත හැකියි.

පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ)

වෙළෙඳ ජාවාරම්කාරයෝ ආණ්ඩුවේ ඉහළ ඉන්න අය විසින් ආරක්‍ෂා කරනවා. රුපියල බාල්දු කරපු නිසයි භාණ්ඩ මිල වැඩිවුණේ. වැසිකිලි පෝච්චියක් පවා ගන්න බැරි වෙලා.

බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක (ශ‍්‍රීලනිප)

හදිසි නීතිය එදා 88, 89 කාලයේදී ගෙනාවේ මිනී මරන්න. ඒවා ජවිපෙ කියන්නෙ නැහැ. අද ගෙනාවේ භාණ්ඩ මිල පාලනය කරන්න. අද තියෙන්නේ දේශපාලන යුද්ධයක්. කොරෝනා ව්‍යසනයෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. අඩුපාඩු ගැන කතා කරන්න කාලය නොවෙයි.

83 සිට 2009 වෙනතුරු හදිසි නීතිය ගෙනාවේ එකම රටක ප‍්‍රශ්නයකට, අද එහෙම නොවෙයි. ජනතාවගේ සුරක්‍ෂිතභාවයටයි.

මහජන ආරක්‍ෂක කටයුතු ඇමැති සරත් වීරසේකර

විවෘත ආර්ථිකයේ අයහපත් පැත්ත නොපෙනුනේ විදේශ විනිමය උපයා ගත් නිසයි. අද කොවිඞ් රෝගය ලොව වටා තිබෙන නිසා ආනයන මත රැුඳීම ගැටලූවක් බවට පත්වුණා. රට වහලා තිබ්බොත් රුපියල් බිලියන 15 ක් දිනකට අහිමි වෙනවා. එය ආර්ථිකයට බලපානවා. එදිනෙදා ආදායම් ලබන අයට පහර වදිනවා.

ව්‍යසනයක් ඇතිව තිබෙන වෙලාවක භාණ්ඩ හංගලා හිඟයක් මවාපාලා මිල වැඩි කරනවා නම් එය අශිෂ්ඨ කි‍්‍රයාවක්. හදිසි නීතිය නොව වෙන ඕනම නීතියක් යොදා එය වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක්.

සමාජ සුබසාධනයට යොදා නොගන්නා නීති වෙන කවරකට යොදා ගන්නද? ඒ නිසයි පක්‍ෂ පාට නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන්න ජනපති තීරණය කළේ. ජනතාව එය අගය කරනවා. විපක්‍ෂය බලා සිටින්නේ රට අරාජික වෙනතුරුයි. ලොව කොහොවත් මෙවැනි දේශපාලකයන් නැහැ.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල (සජබ)

අද රට තුළ භයංකාර තත්ත්වයක් ඇතිවෙලා. හැම අතින්ම රජය අසමත් වෙලා. විශේෂඥයන්ගේ උපදෙස් නොතැකීම නිසා ජනතාවට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙලා.

ආණ්ඩුවට සහන දෙන්න වුවමනාවක් තිබුණා නම් කලින්ම පාරිභෝගික පතත යටතේ කි‍්‍රයාකරන්න තිබුණා. අද ජනතාවට එක වේලක් කාලා ඉන්න තත්ත්වයක් උදාවෙලා. රටේ ජනතාව පෝලිම් යුගයකට යවලා. ජනතාව ජීවත් කරවන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් තිබුණෙ නැහැ.

මොනරාගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජගත් පුෂ්පකුමාර (ශ‍්‍රීලපොපෙ)

88/89 භීෂණයේදී තරුණයන් 60,000 ක් පමණ අතුරුදන් වුණා. එදා හදිසි නීතිය නැතිව අපරාධ නීතිය යටතේ වැඩ කරන්න කියලා කවුරුත් කිව්වේ නැහැ.

භාණ්ඩ හිඟයක් ඇතිවූ විට එය වළක්වාලන්න රජය මේ පියවර ගත්තා.

අධිකරණ ඇමැති අලි සබි‍්‍ර මහතා –

ජනපති පනවපු හදිසි නීති රෙගුලාසි හරියට කියවන්න. බොරු මත ඇති කරන්න එපා. අත්‍යවශ්‍ය ආහාර සඳහා වන රෙගුලාසි කියලා වචනයෙන්ම සඳහන් කර තියෙනවා.

විදේශ විනිමය ලැබීම් අඩුවීම අපට පාලනය කරන්න අපහසුයි. සංචාරක ව්‍යාපාරය, විදේශ රැුකියා ඉපයීම් කවුරු පාලනයේ හිටියත් අඩුවෙනවා. අපි ආනයනය වැඩිකළා. රජය විශාල පීඩනයක ඉන්නවා. විපක්‍ෂය ඇත්ත අවබෝධ කරගත යුතුයි.

අද දරුවන් ඉතා අසරණ වී තියෙනවා. මේ ගැන සිතන්න. අපේ අනාගත පරපුරට විරුද්ධව කි‍්‍රයා කරන්න එපා.

හදිසි නීති රෙගුලාසි වැඩි ඡුන්දයෙන් සම්මත විය.

පාර්ලිමේන්තුව අද (7 දා) පෙරවරු 10.00 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment