දුම්රිය මාර්ග 80% ක් නඩත්තු කළයුතු මට්ටමක

123

මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු අනෙකුත් දුම්රිය මාර්ග සියයට 80ක් ම නඩත්තු කළ යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (04 වැනිදා) පැවැසීය.

ගතවූ මාස දෙක ඇතුළත දුම්රිය පීිලිපැනීම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී බවද හෙතෙම කියා සිටියේය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි බොහෝමයක්ම මළ බැඳී විනාශ වී ඇති බවත්, සමහර දුම්රිය පීලිවලට අලුත් ඇණ මුරිච්චි යෙදිය යුතු වූවත් මේ වනවිට ඒවා නොගෙන්වීම නිසා ගැටලු රැසකට මුහුණ පා ඇති බවත් ඔහු කීය.

පසුගිය කාලයේ ගාල්ල, කොල්ලුපිටිය, මරදාන, බදුල්ල, කැලණිවැලි යන දුම්රිය මාර්ගවල දුම්රිය පීලි පැනීම් සිදුවූ බවද ඒ මහතා කියා සිටියේය.

දුම්රිය මාර්ගවලට නව කොන්ක්‍රීට් සිල්පර යොදා ඇණ මුරිච්චි දමා නිසි ලෙස දැන්වත් නඩත්තු නො කළහොත් ඉදිරියේ දී දුම්රිය පීලි පැනීම් මීට වඩා වැඩිවනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

දුම්රිය මාර්ගවල ඇති අවදානම හේතුවෙන් මේ වනවිට දුම්රියන් ධාවනය වනුයේ පැයට කිලෝමීටර් 20 ත් 25 ත් අතර වේගයකින් බවත්, මේ හේතුවෙන් දිනපතා දුම්රිය ප්‍රමාදවීම්, දුම්රිය ගමන්වාර අවලංගු කිරීම් වනබවත් මේ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණපාන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment