දේශපාලකයන් ගොඩ වැඩිකර ගත්තත් – අරගලයදා වැනසුණු වාහනවලට තාමත් වන්දි නෑ

166

අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් ගිනි තබා විනාශ කළ දේශපාලනඥයන්ට අයත් දේපළ වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇතත් එදින විනාශ කළ බාහිර පුද්ගලයන්ගේ වාහන සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමට මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

අරගලය පැවති දින අරගලියගහ මැඳුරේ පැවති රැස්වීම සඳහා පිට පළාත්වලින් කුලී පදනම මත ජනතාව රැගෙන ආ බස් රථ ඇතුළු වාහන සිය ගණනක් සංවිධානාත්මක කණ්ඩායම් විසින් ගිනිතබා විනාශ කර තිබිණි.

මෙම බස්රථ ඇතුළු වාහන රැසකට අදාළ රක්‍ෂණ වන්දි පවා ලබාගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් මේ වන විට දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

මෙසේ විනාශයට පත් කළ වාහන සහ දේපළවල හිමිකරුවන් පවසන්නේ දේශපාලනඥයන් තමන්ට සිදු වූ අලාභය වෙනුවෙන් රක්‍ෂණ වන්දි සහ රජයේ වන්දි මුදල් ලබාගත්ත ද සත්‍ය වශයෙන්ම අසරණ වී සිටින තමන්ට රජයෙන් වන්දි මුදලක් ලබාදීමට මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

“දේශපාලනඥයන් තමන්ට අහිමි වූ දේපළ වෙනුවෙන් අධිතක්සේරු කර මුදල් ලබාගෙන තිබෙනවා. ඒත් ඇත්තටම අසරණ අපට වන්දි මුදල් තබා අලාභය පිළිබඳව මේ වනතුරු තක්සේරුවක්වත් කරලා නැහැ. සමහර අය බස් අරන් තිබුණේ ලීසිං කරලා. ඒ අයට ලීසිං ගෙවාගන්න විදිහක් නැහැ.

අරගලය දවසේ අපි කොළඹ ආවේ හයර් එකට. ඒත් අපේ වාහන ගිනි තිබ්බා. ඇත්තටම අපි දැන් ඉතාම අසරණ වෙලා ඉන්නේ.

දේශපාලනඥයො හැම පැත්තෙන්ම වන්දි අරන් තමන්ගෙ ගොඩ වැඩිකර ගත්තා. අපි ගැන බලන්න කවුරුත් නැහැ” යැයි විනාශයට පත් වූ වාහනවල හිමිකරුවෝ ‘දිවයින’ ට කියා සිටියහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment