වැඩ වර්ජනය සහ මරණ මංචකය

753

ලංකාවේ වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවක සංගම් සියල්ලම විශාල ලෙඩක් බවට පත්වීගෙන එයි. මේ අංශයේ වැඩ වර්ජනවල කෙලවරක් නැත. අද අප සාකච්ඡා කරන්නට යන විෂය සම්බන්ධයෙන් වැදගත් යමක් කීමට අපට තිබේ. මේ පුවත්පත ප්‍රතිපත්තියක් වශයෙන් වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා කරන වැඩ වර්ජනවලට පක්ෂය. එහෙත් රටේ දෛනික ජීවිතය කඩාකප්පල් කරන සහ දුප්පතුන්ට කෙළවන රෝහල් වර්ජන, බස් වර්ජන, විදුලි බල වර්ජන සහ ගුරුවරුන්ගේ වර්ජන යනාදියට මේ පුවත්පත සහමුලින්ම විරුද්ධය. වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය සේවකයන්ගේ සාමාජිකත්වය සහිත වෘත්තීය සමිති 72 ක් එකතුවී මේ වෙලාවේ වැඩ වර්ජනයක් දියත්කර ඇත. ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම වී ඇත්තේ රජය වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 70,000 ක අමතර දීමනාව තමන්ටද ලබාදෙන ලෙසය. මේ අමතර දීමනාව මෑතක් වනතුරු තිබුණේ රුපියල් 35,000 ක් ලෙසය. පසුගියදා ආණ්ඩුව එම මුදල රුපියල් 70,000 තෙක් වැඩි කළේය. මෙයට බලවත් ලෙස උරණ වූ වෛද්‍ය නොවන කාර්යමණ්ඩල එනම් නර්ස්, ඇටෙන්ඩන්ට්, ලැබ්වල වැඩ කරන කට්ටිය රෝහල්වල සිටින කම්කරුවන් සනීපාරක්ෂක කටයුතු පිළිබඳ බලා කියාගන්නා උදවිය යනාදීහු දොස්තරට දෙන 70,000 ඔවුන්ටද දෙන්නැයි ඉල්ලමින් වර්ජන කරන්නට පටන් ගත්හ. ආණ්ඩුව මේ ඉල්ලීම ඉටුකරනු ඇත්ද නැත්ද යන්න අපි නොදන්නෙමු. මේ රටේ කොයි ශ්‍රමිකයාටත් වැඩියෙන් ගාණක් ලැබෙන්නේ නම් අප තුළ එයට විරෝධයක් නැත. හැබැයි ඊළඟ දවසේදී රෝහල්වල සනීපාරක්ෂක කටයුතු භාර කම්කරු සහෝදර සහෝදරියන්ද, ලැබ්වල වැඩ කරන කට්ටියද, නර්ස් නෝනාවරුන්ද, ඇටෙන්ඩන්ට් මහත්ම මහත්මීන්ද වෛද්‍ය උපාධිය ඉල්ලා වැඩ වර්ජනයක් පටන් ගතහොත් මාරම ප්‍රශ්නයක් සිදුවීමට ඉඩ තිබේ. එවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසද, රෝහල් අධ්‍යක්ෂවරුන් ලෙසද සනීපාරක්ෂක කම්කරුවන් පත්කිරීම නොවැළැක්විය හැකිය. නියම කෙළිය එදාට පටන්ගනී.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන වලින් පස්ස බිම ඇනෙන්නේ නර්ස්ගේ හෝ ලැබ්වල වැඩකරන අයගේ නොව සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවගේය. දොස්තර නොවන සෞඛ්‍ය සේවක කට්ටිය මේ වෙලාවේදී කරන වර්ජනය නිසා ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ දොස්තර සහ සෞඛ්‍ය සේවකයන් 1200 ක් රෝහල්වලට බැස්සවීමට ආණ්ඩුවට සිදුවී තිබේ. යුද හමුදාවක් අවශ්‍ය වන්නේ යුද්ධයට පමණක් නොවේ. කොස් කෙටීමට හැර අන් සියලු කාර්ය සඳහා යුද හමුදා සෙබළාගේ කඩුව වටින බව අපි මෙයට පෙරද කියා ඇත්තෙමු. මෙවර සෞඛ්‍ය වර්ජනයේදී රෝහල්වල දොස්තරලා සෞඛ්‍ය සේවයේ කම්කරු ශ්‍රේණියේ වැඩ පවා කරනු දක්නා ලදී. උදාහරණයක් වශයෙන් පෙරේදා දවස තුළ කොළඹ මහ රෝහලේ රෝගීන් රෝද පුටුවල තබා තල්ලු කරගෙන ගියේ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන විසිනි. සුළු සේවකයන්ගේ කටයුතු බොහොමයක්ම සෙසු වෛද්‍යවරු සිදුකළහ. රුක්ෂාන් බෙල්ලන යනු ආණ්ඩුවේ හිතවාදියෙක්ද අපි නොදනිමු. එහෙත් ඔහු සාමාන්‍ය ජනයාගේ සතුරකු නොවන බව ඔහුගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි විය.

මෙහිදී මතුවන තවත් වැදගත් කාරණයක් තිබේ. 80 වේ ජූලි වර්ජනයට සහභාගි වූ සෑහෙන පිරිසක් ජේ. ආර්. ජයවර්ධන විසින් මහ පාරට ඇදදමන ලදී. ඒ එකෙනෙහිම නොව සේවයට වාර්තා කරන ලෙස කරන ලද ඉල්ලීම් ගණනාවකින් පසු පැනවූ dead line එකකින් අනතුරුවය. දැනට පවත්නා වැඩ වර්ජනයට එක්වී සිටින වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවකයන් ඒ ආකාරයෙන් පාරට ඇද දැමීමට අද නොහැක. 80 වේ ජූලි වර්ජනය පැවැත්වුණේ මෙයට අවුරුදු 43 ට පෙරය. එම කාලය තුළදී අපගේ ජන සමාජයද, දේශපාලන සංස්කෘතියද, ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයද විවිධ game වල ක්‍රමවේදයද සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඒ අනුව දොස්තර නොවන සෞඛ්‍ය සේවක කට්ටියගේ වැඩ වර්ජනය විසඳා කිසියම් සහනයක් ලබාදීම ආණ්ඩුවේ යුතුකම වේ. ලංකාවේ වැඩ වර්ජනවල යෙදෙන අයගේ පඩි ලෙහෙසියෙන් කපනු නොලැබේ. ඒ නිසා වැඩ වර්ජනයක් යනු වැටුප් සහිත නිවාඩු කාලයකි. මේ නිවාඩුව වහා නිමකළ යුතුය. මරණ මංචකයේ වැතිර සිටින ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට හුස්ම පිඹීමට එමගින් හැකිවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment