අපි කණ්ඩායමට එනවා යනවා මේක චක්‍රයක් වගේ

962

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ඒම තමයි මූලික අරමුණ

හැඟීම්වලට ප්‍රතිචාර දක්වන්නට යෑමෙන් ඔබට හානියක් වෙන්න පුළුවන්

කුසල් යටතේ ක්‍රීඩා කිරීම මට අමුත්තක් නොවේ

එංගලන්තයට එරෙහි තරගයේ නිල නොලත් වීරයා ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වසර ගණනාවක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතය සඳහා කැඳවුම් ලැබුවේ පසුගිය 20 වැනිදා ය. වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ මැතිව්ස් එසේ ඉන්දියාවට කැඳවනු ලැබුවේ ක්‍රීඩකයකු ආබාධයකට ලක් වුවහොත් එම තරගාවලිය සඳහා යොදා ගැනීමටය. ඒ අනුව එංගලන්තය සමග බෙංගලූරු හි පසුගිය 26 වැනි දා පැවැති තරගය සඳහා මැතිව්ස් කණ්ඩායමට එකතු වූයේය. ටෙස්ට් තරග 106 ක සහ එක් දින ජාත්‍යන්තර තරග 222 ක අත්දැකීම්වලින් සමන්විත මේ පරිණත ක්‍රීඩකයා එම තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ප්‍රවේශයකට ගෙන ආවේය. ලහිරු කුමාර එම තරගයේ වීරයා වූවද නිල නොළත් වීරයා මෙන්ම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූයේ මැතිව්ස්ය. මැතිව්ස් එම තරගයට පෙර දිනයේ මාධ්‍ය හමුවට පැමිණි අතර එහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්න සහ ඊට ඔහු ලබා දුන් පිළිතුරු ආශ්‍රිතව මෙම ලිපිය සකස් කෙරිණි.

ප්‍රශ්නය . ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔබ තෝරා ගැනුණේ අවසන් මොහොතේ. ඒ වනවිට තරගාවලියේ මුල් තරග දෙකක් අවසන් වී තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ඔබට හිමි වූ මේ අවස්ථාව ගැන මොනවද කියන්න තියෙන්නේ ?

පිළිතුරු . ඇත්තටම ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකාවේ පළමු 15 දෙනාගේ සංචිතය නම් කළාට පස්සේ මට අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ.

ප්‍රශ්නය . අවස්ථාවක් ලැබුණහොත් කියලා ඔබ සූදානමින් සිටියද?

පිළිතුර . ඔව් කෝකටත් කියලා සූදානම් ශරීරයෙන් සිටියා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කළා. ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගත්තා. පන්දු යැවීම, පිතිකරණය යන හැම දේකින්ම මම ශක්තිමත් වුණා. පසුගිය මාස කිහිපය තුළ ඒ දේවල් කළ නිසා මේ ලැබුණු අවස්ථාවට නොබියව මුහුණ දෙන්න මට පුළුවන්.

ප්‍රශ්නය . කණ්ඩායම ඔබ ගෙන් මොන වගේ සේවයක් බලාපොරොත්තු වෙයි ද?

පිළිතුරු. මම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ නිසා පිතිකරණය සහ පන්දු යැවීම කියන ඕනෑම අංශයකින් කණ්ඩායමට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න මට පුළුවන්.

ප්‍රශ්නය . ඔබ සාමාන්‍යයෙන් අංක 4 පිතිකරු ලෙස තමයි ක්‍රීඩා කර තිබෙන්නේ. මෙම තරගාවලියේදීත් ඔබ එම ස්ථානයේ පිතිකරණයේ නිරත වෙනවා දකින්න අපට පුළුවන් වෙයිද?

පිළිතුරු . කණ්ඩායමේ අවශ්‍යතාවයට සහ නායකයාගේ තීරණයට අනුව ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්නට මට හැකියාව තියෙනවා. කොතන පන්දුවට පහර දෙන්න උනත් මම සූදානම්. එහිදී මගේ පෞද්ගලික දක්ෂතා වැඩිදියුණු කරගන්න මම කරදර වෙන්නේ නැහැ.

ප්‍රශ්නය . ඔබ වසර ගණනාවක් කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා. ඒ වගේම විවිධ නායකයන් යටතේ ක්‍රීඩා කරලා තිබෙනවා. දැන් ඔබ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න සූදානම්. ඔහු නායකත්වයට නැවුම් කෙනෙක්. මොකද හිතෙන්නේ ඔහුගේ නායකත්වය ගැන?

පිළිතුරු . කුසල් මෙන්ඩිස් ගැන කියනවා නම් ඔහු පසුගිය වසර කිහිපයේදී ඉතා හොඳ දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා සමාජ තරගවලදී මෙන්ම විවිධ වයස් කාණ්ඩවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා. එල්පීඑල් තරගාවලියේදීත් ඔහු නායකත්වය දැරුවා. ඒ වගේම ඔහු යටතේ ක්‍රීඩා කරන්න ලැබෙනවා කියන එක මට අලුත් දෙයක් නොවේ. මොකද මගේ නායකත්වය යටතේ හිටපු ක්‍රීඩකයන් බොහෝමයකගේ යටතේ පසුකාලීනව මම ක්‍රීඩා කරල තියෙනවා. අපට කණ්ඩායමට එන්න හෝ යන්න වෙනවා. ඒ නිසා මේක චක්‍රයක් වගේ.

ප්‍රශ්නය . ඔබ ඉහත ප්‍රකාශ කළා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බව. විශේෂයෙන් ආබාධ හේතුවෙන් නොයෙක් වර කණ්ඩායමෙන් ඉවතට යන්න සිදු වුණු ක්‍රීඩකයෙක් ලෙස ඔබ ප්‍රසිද්ධයි. ඔබ දැන් වයස අවුරුදු 36 ක ක්‍රීඩකයෙක්. ඒ වගේම පසුගිය කාලයේ සීමිත පන්දු වාර තරග සඳහා අඩු වශයෙන් සහභාගි වූ ක්‍රීඩකයෙක්. එහෙම ක්‍රීඩකයකු වන ඔබ කොහොමද ශාරීරික යෝග්‍යතාව ගොඩනඟා ගත්තේ?

පිළිතුරු . එල්.පී.එල්. තරගාවලිය මට ඒ සඳහා හොඳ අවස්ථාවක් වුණා. තරගකාරීත්වය වැඩි එවැනි තරගාවලියක ක්‍රීඩා කිරීම මට මගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම තුන් ඉරියව් දක්ෂතා ද එළිදක්වන්න හොඳ අවස්ථාවක් වුණා.

ප්‍රශ්නය . මේ ඔබගේ හතරවන එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලිය. ඒ වගේම බොහෝ දුරට මේ ඔබගේ අවසාන එක් දින ලෝක කුසලාන තරගාවලිය වේවි. ඔබ වැනි පරිණත ක්‍රීඩකයකු යළි කණ්ඩායමට කැඳවන්න ඇත්තේ ගොඩක් බලාපොරොත්තු ඇතිව. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව ඔබට මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුරු . ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන ඒම තමයි මූලික අරමුණ. ඒ වෙනුවෙන් කණ්ඩායම සහ මම හොඳ දස්කම් දැක්වීමට කැපවී සිටිනවා. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උපරිම වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මම සම්පූර්ණයෙන්ම සූදානම්.

ප්‍රශ්නය . අවසන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව ඔබට මොන වගේ හැඟීමක් ද දැනෙන්නේ?

පිළිතුරු . ක්‍රීඩා කිරීමේදී හැඟීම්බර වීමෙන් වැළකී සිටීමට මම අවධානය යොමු කරනවා. අපි හැඟීම් ඇති මිනිසුන් වන අතර එම හැඟීම්වලට ප්‍රතිචාර දක්වන්නට යෑමෙන් ඔබට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මම සිත දැඩි කර ගෙන ක්‍රීඩා කරනවා. ඊට පසුව මා කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කරනවා. එවිට පැහැදිලිවම මට නිවැරදි දේ කරන්න පුළුවන්.

කුෂාන් සුබසිංහ
බෙංගලූරු නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment